Renault 5 Electric – නොහික්මුණු ප්‍රංශ රැලි ශුරයා නැවතත් ප්‍රතිනිර්මාණය වේ

Renault සන්නාමය ශ්‍රී ලංකාව තුල ප්‍රධාන පෙලේ ජනප්‍රිය සන්නාමයක් නොවුවද Group Renault යනු ප්‍රංශ මූලයන් සහිත ජාත්‍යන්තර සමාගමක් වන අතර වසර 115 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෝටර් රථ සමාගමකි. ලොව පුරා රටවල් 128 ක වර්තමානයේ පුද්ගලික හා වාණිජ වාහන සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවිකරණය කිරීම Renault, Dacia ,Renault Samsung Motors , Alphine සහ Dacia යන වෙළඳ නාම පහක් යටතේ සිදු වේ.

තවද වසර කිහිපයකට පෙර 2016 දී නිෂ්පාදන පරිමාව (Production volume) අනුව ලොව නවවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වූයේද රෙනෝල්ට් සමාගමයි.එහි මූලස්ථානය පැරිසිය අසල බොලොග්න්-බිලන්කෝට් හි පිහිටා ඇති අතර දැනට වසර 122 කට පෙර වර්ෂ 1899 දී Louis Renault,Marcele Renault,Fernand Renault යන තුන් සහෝදරයන් විසින් ආරම්භ විය.

ඒ සහෝදරයන් අතරින් ලුවී දීප්තිමත්, අපේක්‍ෂා සහගත තරුණ ඉංජිනේරුවෙකි. ඔහු තම සහෝදරයන් සමඟ එකතු වීමට පෙර මෝටර් රථ මූලාකෘති කිහිපයක්ම නිර්මාණය කර ඇති අතර, ඔවුන්ගේ පියාගේ රෙදිපිළි සමාගමෙහි වැඩ කිරීමෙන් ඔහු ව්‍යාපාර දැනුම ලබා ගත්තේය තවද ලුවී සැලසුම් සහ නිෂ්පාදනය හසුරුවන අතර මාසෙල් සහ ෆර්නැන්ඩ් ව්‍යාපාරය කළමනාකරණය කළහ.

පළමු රෙනෝල්ට් මෝටර් රථය වන රෙනෝල්ට් වොයිචරෙට් 1 සීවී 1898 දෙසැම්බර් 24 වන දින ලුවීගේ පියාගේ මිතුරෙකුට අත්හදා බැලීමක් කරන ලදී.එහිදී ඔහුගේ මිතුරා මේ පිලිබදව උනන්දුවක් මෙන්ම ව්‍යාපාරික අවස්ථාවක් ලෙස දුටු අතර පළමුව Renault සමාගම ආරම්භවීමට මුල පිරුණේ මෙම සහයෝගිත්වයයි.තවදුරටත් වෑන් රථ,ට්‍රක් රථ,ට්‍රැක්ටර්,බස් සහ කෝච් රථ,ගුවන් යානා එන්ජින් මෙන්ම දුම්රිය එන්ජින් නිපදවීමද මහා පරිමාණයෙන් ලොව පුරාම සිදු කරනු ලබයි.

ඒ අනුව Renault සමාගමේ පළමු මෝටර් රථය ලෙස වර්ෂ 1899දී අශ්ව බල එකකින් සමන්විත 198cc එන්ජින් ධාරිතාවයකින් යුත් වේග තුනක් සහිත Type A මෝටර් රථය නිෂ්පාදනය විය.මෙහි උපරිම වේගය වුයේ පැයට සැතපුම් 28 ක් වූ අතර රථයේ ශුද්ධ බර 280kg පමණ විය .

දෙවන නිෂ්පාදිත මෝටර් රථය ලෙස Type B රථය වර්ෂ 1900 දී නිපදවනු ලැබූ අතර අශ්ව බල එකකින් සමන්විත 450cc එන්ජින් ධාරිතාවයකින් යුත් වේග තුනක් සහිත Type B මෝටර් රථය නිෂ්පාදනය විය.මෙහිද උපරිම වේගය වුයේ පැයට සැතපුම් 28 ක් වූ අතර රථයේ ශුද්ධ බර 380kg පමණ විය.

මෙම රථයේ රේඩියේටර් දෙපසින් පිහිටා තිබීම ඉතාමත් සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැකිය, තවද එම රථය එවකට ප්‍රංශයේ සුප්‍රකට මෝටර් රථ තරගාවලියක් වූ Paris- Vienna (ප්‍රංශයේ පැරිස් නුවර සිට ඔස්ට්‍රියාවේ වියානා දක්වා වූ කිලෝමිටර් 1200ක් දක්වා දිවෙන) තරගාවලිය ජයග්‍රහනයට සමත්වූයේ Marcel Renault විසින් ධාවනය කිරීමෙනි.

එනමුත් ඛෙදජනක ලෙස වර්ෂ 1903 දී Paris- Madrid තරාගලියේදී ඇන්ගෝලෙම් (Angouleme) අසලදී අනතුරට පත්වීමෙන් Marcel Renault මිය ගියේය. ඔහු තම සහෝදරයාට පැයක් පිටුපසින් 16HP රෙනෝල්ට් රථය පදවාගෙන ලියොන් තෙරීගේ ඩෙකාවිල් පිටුපස ලුහුබඳිමින් සිටියදී රථයේ දූවිලි පසුපස ඇන්ගෝලෙම් අසල තියුණු කොනක් සඳහා අනතුරු ඇඟවීමේ ධජය දුටුවේ නැත. ඔහු වේගයෙන් යමින් සිටි අතර පාලනය නැති වී ගසක හැපීම හේතුවෙන් අවාසනාවන්තව මිය ගියේය.

මෙයින් කනස්සල්ලට පත් ලුවී රෙනෝල්ට් මොටර් රථ තරග සදහා සහභාගිවීම නවතා දැමිය.පසුව සාමාන්‍ය ජනතාව සදහා මෝටර් රථ නිපදවීම සදහා කටයුතු සුදානම් කෙරුණු අතර වර්ෂ 1900 දී මෝටර් රථ 179 ක් පමණ අලෙවි කිරීමටත් ඔවුනට හැකිවිය.

වර්ෂ 1900 සිට පිලිවෙලින් Type R, Type T, U,V, X , Y යන රථයන් නිපදවූ අතර සම්පුර්ණ වශයෙන් මෝටර් රථ 10,000ක් පමණ නිපදවීම සිදුවිය.ඒ අතරින් ලන්ඩනයේ පළමු ටැක්සි රථ සදහාද යොදා ගනු ලැබුවේ Renault රථ වීම සුවිශේෂී කරුණකි.

නැවතත් කෙමෙන් කෙමෙන් ගොඩ නැගෙමින් තිබු Renault සමාගමේ කටයුතු නැවත ඇණ හිටිනු ලැබුවේ වර්ෂ 1914 දී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගයි.එහිදී Battle of Lemans නම්වූ යුධ සටනේදී ප්‍රංශ හමුදා බලකායන් වෙහෙසට පත්වී සිටි අතර නැවත නව බලකායන් යුධ බිමට ගෙන්වීමටද Renault රථ භාවිතා කර ඇති බව සදහන් වේ.

කෙසේ නමුත් ප්‍රංශය යටත් විජිතයක් වනවාත් සමගම සියලු නිෂ්පාදන කටයුතු නැවතත් ඇන හිටින අතර ලුවිස් රෙනෝල්ට්ව එහිදී සිර ගත කරනු ලැබූ අතර පසුව අවාසනාවන්ත ලෙස වසර කිහිපයකදී ඔහුද සිර ගතව සිටියදීම ජිවිතයට සමුදෙනවා.

නැවතත් දෙවන ලෝක යුද්ධයද අවසානයට පත් වන විට මුළු Renault සමාගමම සතු වුයේ 4cv මෝටර් රථ දෙකක් පමණි.තත්වය එසේ වුවද නැවතත් අළු ගසා දමමින් නැගී සිටීමට ඔවුන්ට හැකි වූ අතර Front Wheel Drive සංකල්පයද ඔවුන් විසින් ලොවට හදුනවා දෙන ලදී.පසුව නිෂ්පාදනය වූ Renault 4 මෙන්ම 6 යන රථවල නිෂ්පාදන කටයුතු සදහා ජර්මානු මෝටර් රථ නිපදවන්නෙකු වූ Ferdinand Porsche මහතාද සහය වී ඇති බව සැලකේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව වර්ෂ 1960 දී Corale,1951 fregate,1956 dauphine,1957 dauphinose,1959 caravelle ,1960 estaffe,1961 3,4,8 ,1961 4 fourgonnette ,1971 දී 12 gordini වශයෙන් මෝටර් රථ,ට්‍රක් රථ,වැන් රථ විශාල ප්‍රමාණයක් Renault සමාගම විසින් නිපදවන ලදී.

අද දින අපගේ මාතෘකාව වන Renault 5 Electric රථයේ පළමුවන පරම්පරාවේ රථය වන Renault 5 Turbo රථය ජනවාරි මාසයේ බ්‍රසල්ස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී රෙනෝල්ට් විසින් දියත් කරන ලද ක්‍රීඩා හැච්බැක්(Sport Hatchback) මෝටර් රථයකි.

මධ්‍යම එන්ජින්(mid-engined) සහිත Stratos ස්ට්‍රැටෝස් සමඟ ඉතාලියානු Lancia සමාගමේ රැලි ආධිපත්‍යයට ප්‍රතිචාර වශයෙන්, රෙනෝල්ට් හි නිෂ්පාදන උප සභාපති ජීන් ටෙරමෝර්සි, රෙනෝල්ට් 5 ඇල්පයින් සුපර්මිනි (Renault 5 Alpine Supermini) හි නව ක්‍රීඩා සංස්කරණයක්(new sports version) නිර්මාණය කිරීමේ අදහස ඉදිරිපත් කළේය.එය ලෝකයේ පළමු සැබෑ Hot Hatch මෝටර් රථය ලෙසද හැදින්වේ.

තවද වසර 2004 දී Sports Car International සගරාව විසින් 1980 දශකයේ ඉහළම ක්‍රීඩා මෝටර් රථ ලැයිස්තුවේ Renault 5 Turbo රථය රදවා තබන ලදී.ඉන්පසුව වසර 1980 දශකයේ මුල් භාගයේ ප්‍රංශය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය, හංගේරියාව යන රටවල පැවති ජාතික ශූරතාවලි මෙන්ම යුරෝපය පුරා ජාත්‍යන්තර රැලිවල ජයග්‍රහණද R5 Turbo රථය ලබා ඇති අතර මොන්ටේ කාලෝ(Monte Carlo) වැනි සුවිශේෂී රැලිවලද ජයග්‍රහණ ලබා ඇත.

තවත් වසර 6 ක් 1986 දක්වා ප්‍රංශයේ සහ බෙල්ජියමේ නිෂ්පාදනය කරනු ලැබූ Renault 5 Turbo රථයේ නැවත ආගමනයක් සිදුවන්නේ වසර 36කට ආසන්න කාලයකට පසුව වන අතර එය අනාගත ලෝකයේ මෝටර් රථ ක්ෂේත්‍රය නැබුරු වී ඇති විද්‍යුත්කරණය වී පාරිභෝගිකයන් අතට පත්වීමට නියමිතයි.

අපි පෙරදා ලිපියෙන් පැහැදිලි කල පරිදි තාක්‍ෂණික, සේවා සහ පරිසර හිතකාමී සන්නාමයක් බවට පරිණාමය වෙමින් රෙනෝල්ට් යුරෝපීය මෝටර් රථ කර්මාන්තයට නවීනත්වය ගෙන එන නව යුගයක් කරා ගමන් කරමින් සිටියි.

රෙනෝල්ට් සමාගම විශ්වාස කරන්නේ සන්නාමයේ ආත්මය එහි මූලයන් තුළ ස්ථිරව පවතින බවයි, මෙය ලොව සුපතල රෙනෝල්ට් 5 යලි පණගැන්වීමට ඔවුන්ගේ නිර්මාණ කණ්ඩායමට ආභාෂය ලබා දී ඇත.රෙනෝල්ට් 5 මූලාකෘතිය (Renault 5 Electric) රථය සියලු මිනිසුන් සඳහා සියලු විද්‍යුත් මෝටර් රථයක් යන සංකල්පය පෙරදැරිව නිර්මාණය කර ඇත.

මෙම මූලාකෘතිය හුදෙක් නූතනත්වය මූර්තිමත් කර ඇති අතර එය අනාගතය සදහා නිපදවූ වාහනයක් සදහා තිබිය යුතු මුලික අංග වන නාගරයට ගැලපීම, විදුලි බලයෙන් ක්‍රියාත්මක වීම මෙන්ම ආකර්ශනීය බව උපතින්ම උරුම කරගෙන ඇත.පෙනුම කේන්ද්‍රීය ගතවූ විදුලි නගර මෝටර් රථ (Style-focused electric city car) සංකල්පය යටතේ 2025 වන විට EV වර්ග 7 ක් දියත් කිරීමට රෙනෝල්ට් සමාගම බලාපොරොත්තු වන බවද පැවසේ.

පෙනුම කේන්ද්‍රීය ගතවූ විදුලි නගර මෝටර් රථ (Style-focused electric city car) සංකල්පය යටතේ 2025 වන විට EV වර්ග 7 ක් දියත් කිරීමට රෙනෝල්ට් සමාගම බලාපොරොත්තු වන බවද පැවසේ.රෙනෝල්ට් 5 මූලාකෘතිය ( Renault 5 Prototype) යනු දොරවල් 5ක් සහිත සුපර්මිනි රථයකි( all-electric 5-door supermini).මෙහි නිර්මාණය කිරීමේදී පැරණි R5 Turbo රථයේ ආභාෂයන් නවයකරණය වෙමින් ලබාගෙන ඇති බව බැලු බැල්මටම පෙනී යයි.

තියුණු හැඩති ටයර් රාමු (flared wheel arches),(headlights)ප්‍රධාන ලාම්පු සහ පසුපස විදුලි පහන්(upright rear lights) සහ ඉදිරිපස බම්පරයේ ඇති fog lights සහ දිවා කාලයේ ධාවනය වන විදුලි පහන්(daytime running lights) ඉතාමත් ආකර්ශනිය ලෙස නිමවා ඇත්තේ පැරණි R5 මෝටර් රථයේ නිර්මාණශීලි බවට ඉතාමත් හොද සාධාරණයක් ඉටු කරමිනි.

තවද නව දශකයේ තම සමාගමේ මුලික හරයන් (values) සහ සංස්කෘතීන් (Culture) හි වෙනස් මාවතකට යොමු කරගනිමින් අභියෝග ජයගැනීමට ඔවුන් කටයුතු කිරීමට විවිධාකාරයේ උපායමාර්ග භාවිතා කොට ඇත.

ඒ අතරින් පුනරුත්ථාපනය (‘Renaulution’) නමින් හදුන්වන Group Renault විසින් මෑතකදී එළිදක්වන ලද උපායමාර්ගය සමාගමේ ධාරිතාවන්ගෙන්(volume) ඉවත් වෙමින් වටිනාකමට(value) මාරුවීමේ සංකල්පය (FROM VOLUME TO CREATING VALUE) උද්යෝගිමත් කරනු ලබන බව පෙනී යයි.

මෙය අදියර 3 කින් සමාන්තරව දියත් කරන ලද සැලැස්මක් වන අතර එය මගින් අනෙකුත් මෝටර් රථ සමාගම් සමග තරඟකාරිත්වය පවත්වා ගැනීමට Renault සමාගම අදහස් කරයි.

එය අභියෝගයන් ජයගෙන ඉදිරියට ගමන් කරන ඕනෑම ව්‍යාවසායකුට අතිශයෙන් වැදගත් හේතුවෙන් එයද මෙම ලිපියට එකතු කිරීමට බලාපොරොත්තු වනවා.එය මෙලෙස අර්ථ ගන්වා ඇත.

1.දැඩි පිරිවැය පහසුවෙන් පාලනය කල හැකි වන පරිදි ක්‍රියාකාරී අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.

2.Group Renault හි කාර්මික ශක්තීන්ගෙන් ප්‍රයෝජන ගනිමින් යුරෝපය පුරා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කිරීම.(පොසිල ඉන්ධන දහනය වෙනුවට විදුලිබල ශක්තිය භාවිතය සදහා උද්යෝගිමත් කිරීම).

3.කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සන්ධානයේ තාක්ෂණික සහයෝගය ලබා ගැනීම.

4.දත්ත(Data and Information), සංචලතාව(mobility) සහ බලශක්ති සේවා(energy services) තවදුරටත් ගවේෂණය කිරීම

5.සමාගමේ සන්නාම ව්‍යාපාර ඒකක, ගනුදෙනුකරුවන් සහ වෙළඳපල නැඹුරුව බලගැන්වීම හරහා ලාභදායීතාවය ලබා ගැනීම, යන කරුණු Renault සමාගමේ උපාය මාර්ගික ක්‍රමයේ සදහන්වේ.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...