ටොයෝටා මෝටර් රථ වසර ගණනක් පුරා ලෝකයේ ජන්ප්රියතාවට පත්වී ඇත්තේ විශ්වාසනීය බව,සරල බව සහ සාධාරණ මිලකට අලෙවි වන තත්වයෙන් උසස් මෝටර් රථ සන්නාමයක් ලෙසයි.ලොව අංක එකෙහි ජපාන සන්නාමය මෙන්ම වැඩිම අලෙවියක් සහිත මෝටර් රථ නිෂ්පාදකයා වීමේ දියුණුවේ රහසද එයයි.
දැනට දශක දෙකකට පමණ පෙර දෙමුහුන් හෙවත් Hybrid මෝටර් රථයක් ලෙස පළමුවම වෙළදපොල අති සාර්ථකත්වයට(First mass produced Hybrid Vehicle) පත් Toyota Prius රථය හදුන්වා දෙමින් මෝටර් රථ ක්ෂේත්‍රයේ සිදු කල පෙරලිය නැවතත් Toyota සමාගම විසින් සිදු කර ඇතැයි කීමෙහි වරදක් නොමැත.
එයට හේතුව විශාල වශයෙන් නිෂ්පාදනය කර වාණිජමය වශයෙන් අලෙවි කර හැකි සාර්ථකම හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ සහිත (Fuel Cell) මෝටර් රථයක් ලෙස ඔවුන්ගේ දෙවන පරම්පරාවේ FCV(Fuel Cell Vehicle) රථය වන Mirai රථය මෑතකදී හදුන්වා දීමයි.
අනාගතයේ පුනර්ජනනීය බල ශක්තින් පමණක් භාවිතයෙන් මෝටර් රථ ධාවනය සිදු කිරිමටත් වර්ෂ 2040 දී ශුන්‍ය විමෝචනයක් සහිත(Zero Emission) මෝටර් රථ පමණක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන හෙයින් බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් විකල්ප බලශක්තීන් කෙරෙහි අවධානය යොමු කරමින් සිටියි.එවැනි අවස්ථාවක ආරම්භයේදී පැමිණි බොහෝ අසාර්ථක හයිඩ්‍රජන් කෝෂ සහිත මෝටර් රථ වෙනුවට සාර්ථක FCV රථයක් නිෂ්පාදනය කිරීම Toyota සමාගමේ ඉදිරි පිම්මක් ලෙස හැදින්විය හැකිය.
එහෙයින් මෙම නවතම ටොයොටා හි දෙවන පරම්පරාවේ ශුන්‍ය විමෝචනයකින් යුත් හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ සහිත විදුලි සෙඩාන් රථය පිළිබද විමසුමක් නොකිරීම අඩුපාඩුවක් යැයි හැගෙන්නේ ඒ පිළිබද ඔබ දැනගත යුතු කරුණු බොහෝ ඇති හෙයිනි.
නව මිරායි රථය ටොයොටා හි GA -L වේදිකා( Toyota New Global Architecture) මත ගොඩනගා ඇති අතර එමඟින් වැඩිදියුණු කළ කෝෂ පද්ධති ඇසුරුම් සහිතව වඩාත් ඉඩකඩ සහිත ආසන පහක කැබිනයක් හිමි වී ඇත.එමෙන්ම අතිරේක (තෙවන) හයිඩ්‍රජන් ඉන්ධන ටැංකියක් එක් කර ඇති හෙයින් වැඩි ධාවන පරාසයක්ද පළමු පරම්පරාවේ මිරායි රථයට වඩා ලැබී ඇති අතර එය මෝටර් රථයේ ධාවන පරාසය කිලෝමීටර 650 ක් දක්වාද ප්‍රතිශත වශයෙන් 30% කින් වැඩි කිරීමට දායක වී ඇත.
පළමු පරම්පරාවේ මිරායි රථයට වඩා බලය ප්‍රතිශත වශයෙන් 20% ක්ද වැඩිවී ඇති අතර රථයේ ශුද්ධ බර 50/50 අයුරින් බෙදීම නිසා මධ්‍යගත ගුරුත්ව කේන්ද්‍රයක් නව මිරායි රථයට ලැබී ඇත.පළමු පරම්පරාවේ රථයෙහි පිටුපස සවිවූ ඉන්ධන කෝෂ නව රථයේ ඉදිරියට ගෙන ඇති හෙයින් පිටුපස කැබිනය විශාල ලෙස සකසා ගැනීමට හැකියාව ලැබී ඇත.තවද ඒ හේතුවෙන් අනවශ්‍ය ශබ්ධ සියල්ලම අවම වී ඇති අතර නිහඩ වුත් කාර්යක්ෂම වුත් සැප පහසු ධාවනයක් මිරායි රථයෙන් ලැබෙනවා යැයි කිවහොත් නිවැරදිය.
මෙහිදී මිරායි හි පාරිසරික ක්‍රියාකාරිත්වයට අමතරව රිය පැදවීමේ ගුණාත්මකභාවය තුළින් වඩාත් චිත්තවේගීය ආකර්ෂණයක් ගොඩනැගීම මෙහි අරමුණ වී ඇත.තවද ඉන්ධන කෝෂ ඇසිරීමේදී සියළුම ප්‍රධාන සංරචකවල ප්‍රමාණය හා බරෙහි සැලකිය යුතු අඩුවීමක් සහිතව සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරන ලද ඉන්ධන කෝෂ පද්ධතිය පිරිසිදු ජලය හැර වෙනත් විමෝචනයක් පරිසරයට මුදා නොහරියි.මෙම සැකසුම මඟින් අශ්වබල 151hp ක් සහ රාත්තල් 247 ක ව්‍යවර්ථයක් (Torque )ජනනය කරයි. එක් වේගයකින් යුත් සෘජු ධාවක සම්ප්‍රේෂණය මඟින් ඉදිරිපස රෝදවලට බලය යවනු ලැබේ.මිරායි රථයට තත්පර 8.9 ක් තුල ශුන්‍යයේ සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට පැමිණීමට හැකිවීම සෙඩාන් මාදිලියේ රථයක් ලෙස සෑහීමකට පත් විය හැකිය. සාමාන්‍ය EV රථයක් නැවත ආරෝපණය කිරීමේදී ක්‍රියාවලියේදී ඔබට දිගු වේලාවක් රැදී සිටීමට වුවද නව මිරායි රථය හයිඩ්‍රජන් ඉන්ධන පිරවුම්හලක මිනිත්තු පහක් වැනි කෙටි කාලයක් තුළදී නැවත පිරවිය හැකිය.
මිරායි රථයෙහි සැබවින්ම විදුලිය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පිලිබදව සටහනක් තැබිය යුතුමය.ඒ අනුව මිරායි රථයෙහි විදුලිය නිර්මාණයට පිටත පරිසරයෙන් ලබා ගන්නා ඔක්සිජන් සම්බන්ධ වන අතර එය හයිඩ්‍රජන් ඉන්ධන සමඟ ඉන්ධන කෝෂයකට යවනු ලැබේ. එහිදී එහි ඉලෙක්ට්‍රෝන වල හයිඩ්‍රජන් ඉවත් කරන රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ.එමගින් ඉලෙක්ට්‍රෝන විද්‍යුත් මෝටරයට බලය සපයන අතර හයිඩ්‍රජන් ඔක්සිජන් සමඟ බන්ධනය වී ජලය නිර්මාණය කරයි.ඒ අනුව මිරායි රථය ගමන් කරන සෑම විටම පිරිසිදු ජලය පමණක් විමෝචනය වන අතර ඉහළ කාර්යසාධනයක් සහිත වායු පෙරහන් මගින් පිරිසිදු වාතයද පරිසරයට මුදා හරියි.
තවද සාමාන්‍ය අංගෝපාංග ලෙස ස්වයංක්‍රීය LED හෙඩ්ලයිට්(automatic LED headlights), දිවා කාලයේ ධාවනය වන විදුලි පහන්( daytime running lights) සහ උෂ්ණත්වය වැඩි කළ හැකි පැති දර්පණ (heated side mirrors)වැනි බාහිර අංගයන්ගෙන් නව මිරායි රථය සමන්විත වේ.ඇතුලත කැබිනය තුල ඔබට උෂ්ණත්වය වැඩි කළ හැකි ඉදිරිපස ආසන (heated front seats), යතුරු රහිත පිවිසුම් සහ ජ්වලනය(keyless entrances and ignition) ,heated steering wheel මෙන්ම adaptive controls,blind spot monitoring වැනි පහසුකම් ඇතුළුව ප්‍රයෝජනවත් රියදුරු සහායක අංගයන්වලින් සමන්විත වේ.
එලෙස සැම අතින්ම බලන විට පරිසර හිතකාමී මෝටර් රථ නිපදවීමේ සුවිශේෂී කඩඉමක් මෙන්ම වර්තමානයේ විද්‍යුත් රථ සහ ශුන්‍ය විමෝචනයක් සහිත මෝටර් රථ මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු වන නැවත ආරෝපණය වන කාලය,ධාවන පරාසය සහ කෝෂයේ කල් පැවැත්ම යන ප්‍රායෝගික ගැටළු වලට ටොයෝටා මිරායි රථය පැහැදිලි පිළිතුරක් ලබා දී ඇති බව පෙනේ.
ඒ අනුව තවත් දෙමුහුන් මෝටර් රථ විශාල ප්‍රමාණයක් ඉදිරියේදී හදුන්වා දීමට ටොයෝටා සමාගම අපේක්ෂා කරන අතර Hybrid Electric (HEV),Plug-in Hybrid Electric (PHEV), Battery Electric (BEV),Fuel Cell Electric Vehicles (FCEV) යන විවිධ මාදිලිවලින් අද වර්තමානයේ පවතින බොහෝ මෝටර් රථ නිෂ්පාදනය කොට අනාගතයේදී වෙළදපොලට පැමිණෙනු ඇත.විශාල හා බරින් යුත් මගී මෝටර් රථ, බර වාහන සහ පොදු ප්රවාහනය සඳහා FCEV යොදා ගැනීමේ ඉදිරි පියවර සදහා මුලික අඩිතාලමක් ලෙස මිරායි රථය හැදින්විය හැකි බව අපගේ අදහසයි.
කෙසේ නමුත් මිරායි රථය මෙම ටොයොටා සමාගම විසින් දැනට ප්‍රාන්ත දෙකක පමණක් හදුන්වා දී ඇති අතර ඒවා නම් හවායි සහ කැලිෆෝනියා ප්‍රාන්ත දෙකයි.හයිඩ්‍රජන් පිරවුම් හල් විශාල වශයෙන් එහි ස්ථාපිත කිරීම මෙයට හේතුව වන අතර ඉදිරියේදී හයිඩ්‍රජන් පිරවුම් හල් සහ විද්‍යුත් පිරවුම් හල් ප්‍රමාණය රට පුරා වසරින් වසර වැඩි වනු ඇතැයිද අපේක්ෂා කෙරෙයි.ලොව පුරා හයිඩ්‍රජන් පිරවුම් හල් ව්‍යාප්ත වීමට මෙන්ම හයිඩ්‍රජන් මෝටර් රථ භාවිතය සදහා පාරිභෝගිකයන් යොමුවීමට මිරායි සැලකිය යුතු බලපෑමක් කරනු ඇතැයි වක්‍රාකාරයෙන් කිව හැකිය.
ඒ අනුව ඇමෙරිකාව සහ යුරෝපියානු රටවල් විකල්ප බලශක්ති සදහා යොමුවන අවස්තාවක දකුණු ආසියාව ඇතුළු ශ්‍රී ලංකාව ඒ සදහා සුදානම් වන බවක් පෙනෙන්නට නොතිබීම කිසිසේත්ම සතුටුදායක තත්වයක් නොවන බවද සැලකිය යුතුය.ඉන්දියාව ඇතුළු බොහෝ දකුණු ආසියානු රටවල් තවමත් සමස්තයක් වශයෙන් විද්‍යුත් මෝටර් රථ සදහා සුදානම් නොමැති බවද බොහෝ ඉන්දියානු මෝටර් රථ සමාගම් වල ප්‍රදානින් දැනටමත් අනතුරු අගවා ඇති බවද විශේෂයෙන් කිව යුතුය.