2019 Lotus Evija – දිගු විරාමයකින් පසු මළවුන්ගෙන් නැගිටි සියපත නැවතත් ජීවමාන වෙයි

ගෙවීගිය දශක දෙකක් පුරාවටම සුපිරි මෝටර් රථ ලෝකයේ නිතරම ඇසෙන සුලභ නාමයක් නොවුවද බ්‍රිතානයයේ ලෝටස් සමාගම 80 දශකයේ මුල සිට 90 දශකයේ අවසාන භාගය දක්වා මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශාල පෙරලියක් කරනු ලැබූ මෝටර් රථ සන්නාමයකි.ලෝටස් සමාගමේ නිපදවනු ලැබූ ජනප්‍රියතම සහ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් අලෙවි වූ Elise සහ Esprit රථවලින් පසුව නැවතත් ලෝකයේ අවධානය වසර 23 කට පසුව Lotus සමාගම වෙත යොමුවන්නේ ඔවුන්ගේ නවතම විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන Evija (එවිහා) නම්වූ අධි බලැති hypercar ගණයට අයත්වන මෝටර් රථය පසුගිය වසරේ ජුලි මාසයේ එළිදැක්වීමත් සමගයි.

90 දශකයේ අග භාගයේ සිටම විටින් විට මුල්‍ය අර්බුදයන්ට මුහුණදෙමින් විවිධ වර්ගයේ සමාගම්වල හිමිකාරිත්වයන්ට යටත්වෙමින් මෝටර් රථ නිෂ්පාදනයේ අසීරු ගමනක් ගෙවූ ඔවුන් වර්තමානයේ චීනයේ Geely සමාගම යටතේ නව ආරම්භයක් සදහා අඩිතාලමක් ගොඩ නගාගනිමින් සිටියි.වර්ෂ 2017 දී Geely සමාගමේ හිමිකරිත්වයට පත්වීමෙන් අනතුරුව hypercar ගණයට අයත්වන මෝටර් රථයක් නිපදවීම සදහා සැලසුම් සැකසෙන්නේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරනු ලැබූ පළමුවන ALL-Electric Hypercar රථය ඔවුන් විසින් නිපදවීමේ අරමුණ ඇතිවයි.

ඒ අනුව ඔවුන්ගේ සිහින සැබෑ කරමින් අශ්වබල දෙදහසකින් සමන්විත ලොව බලවත්ම මෝටර් රථය ලෙස කිරුළු පලදිමින් එවයිහා (Evija) නමින් හැදින්වෙන ජීවමාන තැනැත්තා නොහොත් පළමුව ජිවය ආරම්භකරන්නා ලෙසින් දශක දෙකකට පෙර තමා සතුවූ හැකියාවන් අදටත් තමා සතුවන බව ලොවට පෙන්වීමට lotus සමාගමට හැකිවී ඇත.එසේනම් lotus සමාගමේ ආරම්භයෙන් ලිපිය ආරම්භ කරමින් ඔවුන් මෝටර් රථ ක්ෂේත්‍රයේ වර්තමානය දක්වා පැමිණි ගමන ආවර්ජනය කිරීම වඩාත් සුදුසු වේ.

වර්ෂ 1948 දී ආරම්භ වූ Lotus සමාගම එංගලන්තයේ හෙතෙල්,නොර්ෆොක්හි මූලස්ථානය කේන්ද්‍ර කොටගත් බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගමකි.ඉංග්‍රීසි ජාතික නිපැයුම් ඉංජිනේරුවකු,නව නිර්මාණකරුවකු වූ කොලින් චැප්මන් Lotus සමාගමේ නිර්මාතෘවරයායි.ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ශිෂ්‍යයකු වූ අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගුවන් බලගණයට බැඳී ගුවන් යානා පියාසර කිරීමේ හැකියාවද ලබා තිබු අයෙකි.

ඔහුගේ ගගනගාමී ඉංජිනේරු ශිල්පීය ක්‍රම පිළිබඳ ඔහුගේ දැනුම Lotus මෝටර් රථවල දර්ශනය වන සැහැල්ලු බව සහ සරල බව යන කරුණු අදටත් සිහිපත් කරනු ලබන අතර වර්තමානයේත් එම දර්ශනය මුලික කොටගෙන මෝටර් රථ නිපදවීම සිදුවේ.

ගුවන් යානා තාක්ෂනය මුල් බැසගත් මෝටර් රථයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඔහු සතුව තිබු අතර පළමුව වසර විස්සක් පමණ පැරණි ඔස්ටින් 7 වර්ගයේ මොටර් රථයක් මිලදීගෙන එම රථය මෝටර් රථ ක්‍රීඩා සදහා යොදාගත් අතර අශ්වබල 15කින් යුක්ත වූ මෙම රථය මගින් එංගලන්තයේ එකල පවතී තරග කිහිපයකින් ජය ගැනීමටද ඔහුට හැකිවිය.

ඉන්පසුව නිපදවූ Mark 2 version මෝටර් රථය භාවිතයෙන් 750CC ෆොර්මියුලා 1 මෝටර් රථ ධාවන තරගවලට සහභාගිවීමට ඔහුට හැකිවිය.තවත් වසර කිහිපයකට පසුව බ්‍රිතාන්‍ය ඇලුමිනියම් සමාගමට සම්භන්ධ වීමෙන් පසුව පෙර කි ඔස්ටින් 7 රථය තවදුරටත් නවීකරණය කරමින් සැහැල්ලු ඇලුමිනියම් රාමුවක් සහිතව ශක්තිමත් බදක් නිපදවීමට ඔහු සමත්විය.

මෙම සැහැල්ලු සහ සරල බව ඔහුගේ මෝටර් රථවලට එකතු කිරීමට ඔහු බලාපොරොත්තුවන්නේ වේගවත් සහ තියුණු හැසිරවීමේ හැකියාවක් සහිත රථයක් නිපදවීමේ අරමුණ මුදුන්පත් කරගෙනයි.වර්ෂ 1952 දී එකල වේගවත්ම රථය නිෂ්පාදනය කිරීමට ඔහු සමත්වන අතර පියාගේ හෝටලය පිටුපස තිබු අශ්ව ඉස්තාලය Lotus මෝටර් රථ සමාගමේ පළමු කම්හල ලෙස යොදාගනිමින් තවත් ධාවන තරග සදහා උනන්දු වූ තරුණ පිරිසක් සමගින්ද මෝටර් රථ ක්ෂේත්‍රයට අත්පොත තැබීමට ඔහුට හැකිවිය.

වර්ෂ 1957 දී Lotus Mark VII නම්වූ වහලය විවෘත කර ඇති මෝටර් රථ ධාවන සදහා මෙන්ම සාමාන්‍ය භාවිතය සදහා ගත හැකි රථයක් (open air street legal track car) පළමුවරට ඔහු විසින් වෙළදපොලට හදුන්වා දුන් අතර මෙහි සුවිශේෂි බව වුයේ රථය අලෙවි කිරීමේදී කොටස් කර පාරිභෝගිකයාට ලබාදීමයි,ඒ අනුව වෙලදාම් කිරීමේදී රජය විසින් ය කරනු ලබන බදු මුදල අවම කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබිණ.රථය මිලදී ගන්නා පුද්ගලයාටම රථය එකලස් කොට ධාවන තරග සදහා පහසුකම් ලබා දීමටද Lotus සමාගම කටයුතු කරනු ලැබිය.

ලෝටස් සමාගම ප්‍රථම වරට ෆෝමියුලා වන් වෙත පිවිසියේ 1958 දී සිය සහෝදර සමාගම වන ටීම් ලෝටස් (Team Lotus)හරහා ය.ඉන්පසුව ස්ටර්ලිං මොස් විසින් ධාවනය කරන ලද ලෝටස් ෆෝමියුලා වන් මෝටර් රථයක් 1960 දී මොනාකෝ හි දී මාර්ක් ධාවන පතයේදී හි පළමුවන ග්රෑන්ඩ් ප්රික්ස්(Grand Prix)තරගාවලිය දිනා ගත්තේය.කෙසේ නමුත් විශාලතම ජයග්‍රහණය ලෙස වර්ෂ 1963 දී Jim Clark විසින් ධාවනය කරනු ලබන Type 23 රථය මගින් පළමුවන නිෂ්පාදනකරුවන්ගේ ශුරතාවය සටහන් කිරීමට Lotus සමාගමට හැකියාව ලැබෙනවා

ඊට අමතරව මැද එන්ජින් පිරිසැලසුම (Mid engine layout ) සෑදීමේ ගෞරවය මෙන්ම පළමු මොනොකොක්( monocoque) ෆෝමියුලා වන් චැසිය නිපදවීම සහ එන්ජිම හා ට්‍රාන්ස්ඇක්සල් චැසි සංරචක(එන්ජිම චැසියේ කොටසක් ආකාරයෙන්) ලෙස ඒකාබද්ධ කිරීමද ඔවුන් විසින් ධාවන තරග සදහා එකතු කල නව්‍යතාවයන් වේ.තවද ෆෝමියුලා වන් රථවලට පියාපත් කොටස් (wings) හදුන්වා දීම මෙන්ම රථයේ වායුගතික ක්‍රියාකාරිත්වයට (aerodynamic performance)සහ ක්‍රියාකාරී සස්පෙන්ෂන් (active suspension) හදුන්වාදීම,රේඩියේටර් මෝටර් රථයේ දෙපැත්තට ගෙන යාම යන තාක්ෂනයන්හි නිපුණයන් ලෙසද ඔවුන් හදුන්වා දිය හැකිය.තාක්ෂණිකව පමණක් නොව අලෙවිකරනයේද නවයතාවයන් වූ අනුග්‍රහකයන්ගේ වෙළද දැන්වීම් ධාවන රථවල ප්‍රදර්ශනය කිරීමද පළමුව ඔවුන් විසින් හදුන්වාදුන් ලැබූ කරුණු ලෙස සැලකිය හැකිය.

මෙවන් නවයතාව්‍යන් විශාල ප්‍රමානයක් ධාවන තරග සදහා හදුන්වා දුන් ලෝටස් සමාගම ෆෝමියුලා වන් ලෝක ශූරතාවය හත් වතාවක් දිනා ගැනීම මෙන්ම හය වතාවක් 24 hours lemans තරගාවලිය දිනාගැනීම,සුප්‍රකට Ferrari සමාගම සමග කරට කර තරග වදිමින් ෆෝමියුලා වන් තරග 50ක් ජයග්‍රහණය කල පළමු කණ්ඩායම වීම ඔවුන්ගේ ස්වර්ණමය යුගයේ මතක සටහන්ය.

ධාවන පථයේදී මෙන්ම මෝටර් රථ නිෂ්පාදනයට අවධානය යොමු කල ඔවුහු විදේශීය සමාගම් වූ Ferrari සහ Lamborghini මොටර් රථ අභිබවා යා හැකි මෝටර් රථයක් නිපදවීම ඔවුන්ගේ අභිප්‍රාය විය.එම අදහස මුදුන්පත් කරගනිමින් ඉතාලියේ ITALDesign නම්වූ මෝටර් රථ ආකෘති නිර්මාණය කරනු ලබන සමාගම සමග සම්බන්ධ වී Giugiaro නම්වූ ඉතාලි ජාතික නිර්මාණකරුගේ අනුදැනුම ඇතිව Lotus Esprit රථය නිෂ්පාදනය කරනු ලැබිය.

එදා මෙදා තුර ලෝටස් සමාගම මගින් නිපදවූ මෝටර් රථ අතුරින් දෙවනියට විශාලම ප්‍රමාණයක් අලෙවි වූ මෝටර් රථය ලෙස මෙම Esprit රථය හැදින්විය හැකිය.Esprit රථයට පසුව නිපදවූ Elise රථය සමාගමේ ඉහලම ආදායම් වාර්තා ලැබූ මෝටර් රථය වන අතර බර හා නිෂ්පාදන පිරිවැය අවම මට්ටමක තබා ගනිමින් ෆයිබර් ග්ලාස් බදක් සහ ඇලුමිනියම් චැසියක් සහිතව සැහැල්ලු බව සහ හැසිරවීමේ හැකියාව මුලික කොට ගෙන නිපදවීම සිදු විය.සුවිශේෂී කරුණක් ලෙස කිවයුත්තේ මෙම Elise රථය මුලික කරගෙන නිපදවූ මෝටර් රථ කිහිපයක්ද වන අතර ඒවා නම් Tesla සමාගමේ පළමුවන පරම්පරාවේ Roadester රථය,Hennessey සමාගමේ Venom GT රථය සහ Opel සමාගමේ Speedster රථයයි.

මෙම මෝටර් රථය එලි දක්වන කාලයේදී සමාගමේ හිමිකාරිත්වය පැවතුනේ ප්‍රංශ (Bugatti)බුගාටි සමාගමෙහි හි සභාපති ලෙස කටයුතු කළ රොමානෝ ආටියෝලිගේ යටතේ වූ නිසාවෙන් ඔහුගේ මිනිබිරිය වන එලිසා ආටියෝලිගේ නමින් මෙම නව රථය (Elise) එලිස් නම් කරන ලදී.

මේ වනවිට සමාගමේ හිමිකාරිත්වය වෙනස් වීමට හෙතුවුයේ චැප්මන් මහතාගේ හදිසි අභාවයයි ඉන්පසු මුල්‍ය අර්බුදයන් රැසකට මුහුණදීමට සිදුවූ අතර ඇමෙරිකානු GM ,මැලේසියාවේ Proton සහ විවිදාකාරයේ සමාගම් යටතට පත්වීමට Lotus සමාගමට සිදුවිය.ඒ අතරතුර අලුතින් හදුන්වා දුන් Elise,Exige සහ Evora රථ වලට වෙළදපොල ඉහල ඉල්ලුමක් ලබාගැනීමට දශක දෙකක් තිස්සේ හැකියාවක් නොතිබිණ.නමුත් පසුගිය වසරේ හදුන්වා දුන් Evija රථය සමාගමේ අසීරු කාලය නිමා කරමින් සෞභාගය කරා ගෙන යාවි යැයි බොහෝ මෝටර් රථ විචාරකයන්ගේ අදහසයි.

මෙම නව එවිජා රථය ලොව වෙනත් ඕනෑම මෝටර් රථයකට වඩා වෙනස් ගතිගුණ වලින් සමන්විතය එහි වක්‍ර(curvy) සහ දෙපස සිදුරු(air holes) නිර්මාණය සිත්ගන්නාසුලු දර්ශනක් සඳහා පමණක් නොවේ.වසර 70 කට අධික සම්ප්‍රදායික ජානයන් තවදුරටත් රැක ගනිමින් කැපී පෙනෙන වායුගතික(aerodynamic) ශරීරයක් ඇයට උපතේදීම ලැබී ඇත.

අනෙක් මෝටර් රථ මෙන් වේගයෙන් වාතය කපාගෙන යනවා වෙනුවට, එවිජා නිර්මාණය කර ඇත්තේ එහි චැසිය තුළ විවරයන් හරහා වාතය ගලායාම සදහායි.පිටුපස එන්ජිමක් නොමැති වීම හේතුවෙන් දෙපස වාතය රථයේ සිසිලන පද්ධති සදහා අවශ්‍ය නොවීම මෙයට හේතුවයි.එමඟින් මෝටර් රථයේ කාර්යක්ෂමතාව සහ ස්ථායිතාව වැඩි වන අතර විදුලි මෝටර හතරක් මඟින් අශ්වබල 2,000 ක් පමණ ඒකාබද්ධ කර පැයට සැතපුම් 217 ක උපරිම වේගයක් කරා ළඟා වීමට පහසුවේ

සමාගමට අනුව, මෝටර් රථය තත්පර 3 කට අඩු කාලයකින් 0-60 mph සිට වේගවත් කළ හැකිය සමාගම තවදුරටත් කියා සිටින්නේ තත්පර 9 කට අඩු කාලයකදී එවිජාට පැයට සැතපුම් 186 ක වේගයක් ළඟා විය හැකි බවත් එය “වෙනත් ඕනෑම තරඟකරුවෙකුට ඉතාමත් හොද අභියෝගයක් බවය.මෙහි කිලෝවොට් පැය 70 (kWh) බැටරිය ආරෝපණය ඉවතට යාමට පෙර සැතපුම් 250 ක් ළඟා විම සදහාම නිර්මාණය කොට ඇත.වෝල්ට් 800, 350 kW, 3 වන මට්ටමේ වේගවත් චාජරයකින් බැටරියේ ධාරිතාවෙන් 80% ක් නැවත ආරෝපණය කිරීමට මිනිත්තු 12 ක් ගත වන අතර සම්පූර්ණ ආරෝපණයක් සඳහා අමතර මිනිත්තු හයක් බලා සිටීමට ඔබට සිදුවේ.

බාහිර පෙනුම ඇදහිය නොහැකි පෙනුමක් ඇති අතරම, අභ්යන්තරය ඒ හා සමානවම ආකර්ශනිය වේ. ප්‍රධාන කොන්සෝලය අධි තාක්‍ෂණික පෙනුමක් ඇති අතර එය අනාගත ප්‍රහාරක ජෙට් යානයකට සමාන ය.උපකරණ පුවරු බොත්තම්වල ෂඩාස්රාකාර, පැණි වදයක් වැනි ව්‍යුහයේ සිට සෑම අංගයක්ම හොඳින් අවදානය යොමු කොට නිපදවා ඇති බව පෙනේ.සිදුරු සහ වක්‍ර, විවෘත අවකාශයන් මෝටර් රථයේ සමස්ත සිදුරු තේමාව සමඟ හොඳින් ගැලපේ ඒ අතරම එහි මිල පරාසය තුළ ඇති වාහන වලින් අපේක්ෂා කරන තාක්‍ෂණික පහසුකම් සහ නව්‍යතාවයන් සම්භාව්‍ය “දර්පණ මත පදනම් වූ” හෙඩ් ලයිට් වෙනුවට ලේසර් ලයිට්(Laser Lights ) වලින් මාර්ගය ආලෝක කරණය සිදු වේ.

දශකයකට වැඩි විරාමයකින් පසුව, ලෝටස් එවිජා බ්‍රිතාන්‍ය ප්‍රමුකතම හයිපර්කාර් රථය ලෙස පමණක් නොව ලෝටස් සමාගම තවමත් ජීවතුන් අතර සිටින බවද ප්‍රකාශ කරනු ලබයි.කෙසේ නමුත් ඩොලර් මිලියන 2.1 මිලක් යටතේ එවිජා රථයේ පහස ලබාගැනීමට ලෝකයෙන්ම හිමිවන්නේ 130 දෙනෙකුට පමණකි.අවසානයේදී වසර ගණනකට පසුව මළවුන්ගෙන් නැගී සිට මෝටර් රථ ලෝකය සුවදවත් කිරීමට එවිජා නම්වූ නෙලුම් පුෂ්පයට හැකි වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...