නව වසරේ ආදරවන්තයන්ගේ මාසයේ අවසානයටම ලංවී ඇත්තේ බොහෝ ආදර කතාවල අවසානයන්ද ආරම්භයන්ද සිදුවෙමිනි නමුත් කිසිදා නොබිදෙන ආදර කතාවන් මනුෂ්‍ය ලොවේ පමණක් නොව මෝටර් රථ ලොවේද ඇත.මේ අන් කිසිවක් නොව ලොව පුරා අතිශය මෝටර් රථ රසිකයන්ගේම පමණක් නිහඩ ආදරයට පාත්‍රවූ Alfa Romeo සන්නාමයයි.
” ඔබ Alfa Romeo රථවලට ආදරය කරන්නෙක් නොවේ නම් ඔබ සැබැවින්ම මෝටර් රථ රසිකයෙකු නොවේය.” Alfa Romeo රථ පිළිබද කතා කරනු ලබන සෑම විටම මෙම වාක්‍යය බොහෝ දෙනාගේ සිතට නැගෙන සිතුවිල්ල වේ.”ඔබ සැබෑ මෝටර් රථ වලට ආලය කරන්නෙක් නම් ඔබ එක් වතාවක් වත් Alfa Romeo රථයක් ධාවනය කර තිබිය යුතුමය ” මෙම වාකයයද එවැනිම හැදින්වීමක් වේ.
Alfa Romeo යනු ඉතාලි සම්භවයක් සහිත සමාගමක් වන අතර සියවසකට අධික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන යුරෝපය ඇතුළු ලොව පුරා ජනප්‍රිය මෝටර් රථ සමාගමකි.මෙම Alfa Romeo රථ බොහෝ විට යුරෝපයේ දැකගත හැකි වුවද ආසියාව සහ ඇමෙරිකාව තුල එතරම්ම දැක ගත නොහැකි මෝටර් රථ මාදිලියකි.
Alfa Romeo රථ පිළිබද කථා කරන්නේ නම් එම රථවල ඉතිහාසය පිළිබද කතා නොකරම බැරිය ඒ හේතුවෙන් ඒ පිලිබදව කෙටි සටහනක් සමගින්ම අද මාතෘකාව වන Guilia රථය පිළිබද යොමුවීම වඩා යෝග්‍ය බව අපි සිතන්නෙමු.
Alfa Romeo පළමුව මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ වීමට පෙර ප්‍රසිද්ධත්වයට පත් වී තිබුනේ මෝටර් රථ ධාවන සදහා සහභාගී වූ කණ්ඩායමක් ලෙසයි.මිට වසර 110 කට පමණ පෙර එනම් වර්ෂ 1910 දී ඉතාලියේ ටියුරින් (Turin) නගරයේදී (Anonima Lombarda Fabbrica Automobili) නම් සමාගම ALFA යන නමින් ආරම්භ වීම සිදුවිය.
24HP නමින් නිපදවූ පළමු මෝටර් රථය සමගින් මෝටර් රථ ලෝකයට පාතැබූ ඔවුන් එකල පැවැත්වූ මෝටර් රථ ධාවන තරගවලින් ජයග්‍රහණයන් තුලින් තම ආධිපත්‍ය පිට පිටම පතුරවමින් සිටි සමාගමක් විය.එකල ඉතාලියේ පැවැත්වූ mila migelia තරගාවලිය, targa florio වැනි තරගාවලින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ වාර්තා කල දක්ෂ කණ්ඩායමක් ඔවුන් සතු විය.
කෙසේ නමුත් සියල්ල කන පිට හරවමින් බොහෝ මෝටර් රථ සමාගම් වලට අපහසු වකවානුවක් ගෙනදෙමින් වර්ෂ 1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වන අතර සියලුම නිෂ්පාදනයන් සහ තරගාවලි නවතා දමමින් රජයට අවශය යුධ උපකරණ නිපදවීමට Alfa සමාගමට සිදුවනවා.ඒ අනුව එකල සිටි ධනවත් ව්‍යාපාරිකයකු සහ ඉංජිනේරුවකු වූ Nicola Romeo මහතාට සමාගමේ භාරකාරීත්වය හිමි වන අතර සමාගමේ නාමය Alfa Romeo ලෙසද වෙනස් කිරීම සිදුවනවා.
Alfa සමාගමේ පළමු නිර්මාතෘවරුන් වූ Alexandre Darracq නම්වූ ප්‍රංශ ආයෝජකයා සහ Ugo Stella නම්වූ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියා ඇතුළුව Nicola Romeo ගේ අනුදැනුම අනුව නැවතත් නැවතත් මෝටර් රථ තරගවලට Alfa Romeo සමාගම එක්වන්නේ පළමු ලෝක යුද්ධයේ අවසාන වීමත් සමගයි.
මෙහිදී විශේෂයෙන්ම කිවයුතු කරුණක් වන්නේ Alfa Romeo රථවල යොදාගැනෙන තරමක් සුවිශේෂී ආකාරයේ ලාංජනය පිලිබදවයි.මෙම ලාංජනය බොහෝ විට මෝටර් රථ ලෝකයේ අලංකාරම ලාංජනය ලෙසද හැදින්වෙන අතර තරමක් වෙනස් ආකාරයේ ඉතිහාසයක් මේ තුල ගැබ්ව තිබේ.
මෙම ලාංජනයේ වම් කොටසේ පෙනීමට ඇති රතු පැහැති කුරුසය මගින් මධ්‍යතන යුගයේ මිලාන් නගරයෙන් කුරුස යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන්ගේ සන්නාහයේ සටහන් කොට තිබු කුරුස සලකුණත් පසුබිම් සුදු පැහැයෙන් ඔවුන් පැළද සිටි වර්ණයත් සංකේතවත් කරනු ලබයි.ඒ අතර මෙහි දකුණු කොටසෙන් නිරුපනය වන්නේ 11 වන සියවසේ මිලාන් නගරයේ Biscion නම්වූ සංකේතයයි.
මෙහිදී සර්පයෙකු මිනිසෙකු ගොදුරු කරගන්නා ආකාරය නිරුපනය වන අතර මේ වටා ගෙතුණු විවිදාකාරයේ මිත්‍යා කථා බොහෝමයක්ද වන අතර මෙය මිලාන් නගරයේ සුලභව යොදාගැනෙන අතර ඉතාලියේ ජිවත් වූ වංශවත් පවුලක් වූ විස්කොන්ති පවුලේ (House of Visconti coat of arms) ලාංජනය ලෙසද මෙය අදටත් යොදා ගනු ලබයි. මිට අමතරව ඕනෑම Alfa Romeo රථයක් ඉතාමත් පහසුවෙන් හදුනා ගත හැකි වන ලෙස නිමවා ඇති සෑම රථයකටම ආවේනික වූ Trilobe (ත්‍රිකෝණික) හැඩති ඉදිරිපස දැල් සහිත රාමුව පිළිබදවද (V Scudetto Grille) මෙහිදී සදහන් කල යුතුමය.
ලෙස නැවත ඇරබෙන Alfa Romeo සමාගම ඔවුන්ටම ආවේනික වූ ඉතාමත් අලංකාර වුත් වේගවත් වූත් මෝටර් රථ නිෂ්පාදකයකු ලෙස ලොව පුරා නමක් දිනා ගනු ලබනවා.එත් සමගම මෝටර් රථ ධාවනවලින් ලැබූ ජයග්‍රහණයන් සමාගම ඉහලම තත්වයට ගෙන ඒමට සමත් වනවා.මෙහිදී ධාවන තරගාවලි පිළිබද කරුණු කතා කිරීමේදී Alfa Romeo සමාගමට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රැගෙන ආ ugo sivocci මහතා පිලිබදවද කිව යුතුමය.
ugo sivocci මහතා එකල ඉතාමත් දක්ෂ ධාවන රියදුරෙකු ලෙස හැදින්වූ අතර ඔහු Alfa Romeo සමාගමේ ධාවන කණ්ඩායම නියෝජනය කල අතර සමාගමේ නව රථයන් අත්හදා බැලීම්වලටද සහාය වූ පුද්ගලයෙකි.නමුත් හදිසියේම Alfa Romeo P1 නම්වූ රථය අත්හදා බැලීමේදී සිදුවූ අනතුරකින් ඔහු මිය යාමත් සමග Alfa Romeo සමාගම ඔහු පෙර ධාවන තරගවලදී තම රථයේ ලාංජනය ලෙස යොදාගත් Quadrifoglio Verde (කොළපැහැති cloverleaf ශාකය) සහිත ලාංජනය ඔවුන් විසින් නිපදවනු ලැබු සාම racing රථයකම යොදා ගනු ලැබූ අතර අදටත් එලෙසම ලාංජනය ඔහුව සිහිවීම සදහා Alfa Romeo Sport රථවල යොදා ගැනේ
ඒ අතර සුප්‍රකට Ferrari සමාගමේ Prancing Horse ලාංජනයද Alfa Romeo රථවල යොදා ගැනුණු අතර Ferrari සමාගමේ නිර්මාතෘ වන Enzo Ferrari මහතාද පළමුව මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පය තැබුවේ Alfa Romeo කණ්ඩායම සමගයි.
Enzo මහතාද Alfa Romeo කණ්ඩායම සමග වසර 10 ක් කටයුතු කල අතර එදා සිට අද දක්වා මෝටර් රථ තරගාවලි විශාල ප්‍රමාණයක ජයග්‍රහණ තමන් සතු කරගැනීමට ඔවුනට හැකි විය.European Touring Championship,European F3 championship,24 Lemans,Trans Am ඇතුළුව වර්ෂ 1950 දී ලොව පළමුවන F1 තරගාවලියද ජයග්‍රහණය කරනු ලැබුවේද Alfa Romeo කණ්ඩායම විසිනුයි.
මේ අයුරින් එකී නොකී විශාල ධාවන තරගාවලි ජයග්‍රහණ විශාල ප්‍රමාණයකට හිමිකම් කිවූ Alfa Romeo සමාගම වර්ෂ 1960 ත් 1970 ත් අතර sport වර්ගයේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් හදුන්වා දෙන ලදී.Tipo 33 Stradale,1957 Giulietta sprint,GTA සහ Guilia Spider වැනි ඉතාමත් සාර්ථක ගනයේ මෝටර් රථ පෙළක් ඒ අතර වූ අතර ලොවට පළමුව GT(Grand Tourism) මාදිලිය හදුන්වා දෙනු ලැබුවේද Alfa Romeo සමාගම විසිනුයි.
නමුත් වර්ෂ 1986 දී මුල්‍යමය හේතු නිසාවෙන් Fiat සමාගම Alfa Romeo සමාගමේ හිමිකාරිත්වයට පත්වූ අතර ඉන් පසුව වර්ෂ 1990 සිට 2000 වර්ෂය දක්වාම Alfa Romeo සමාගමේ නිෂ්පාදන ඉතා ලොව පුරා අලෙවි විය.නමුත් එම දශකය තුල අලෙවි වී බොහෝ මෝටර් රථ අලෙවියෙන් පසු දෝෂ සහිත ඒවා බවට පරිවර්තනය වූ අතර ශිත කාලගුණයන්හිදී රථයන්හි බද දිරා යෑම්,එන්ජින් දෝෂ,ගියර් පද්ධතිවල දෝෂ සහ electronic පද්ධතිවල දෝෂ හේතුවෙන් Alfa Romeo රථ පිළිබද පාරිභෝගිකයන් අතර තිබු විශ්වාසය බිදී ගිය අතර ප්‍රතිවාදී ජර්මානු මෝටර් රථ වෙත ජනතාව යොමුවීම සිදු විය.
එබැවින් බොහෝ මෝටර් රථවලට ආදරය කරන්නන් අතර ජනප්‍රියව තිබු Alfa Romeo සමාගම කෙමෙන් කෙමෙන් ජනතාව තුලින් ඈත් වූ අතර පසුව වර්ෂ 2006 දී සහ 2008 දී හදුන්වා දුන් Mito සහ Spider රථවලටද එතරම් බලපෑමක් වෙළදපොලට ගෙන ඒමට හැකි වුයේ නැත.නමුත් වසර 11 කට පසුව හදුන්වා දුන් saloon වර්ගයේ රථය වූ Giulia Quadrifoglio රථය ඉතාමත් සාර්ථක ස්ථානයක් තමා වෙත ආකර්ෂණය කරගැනීමට හැකිවිය.
ඒ අනුව Giulia රථය පසුගිය දශක දෙකකට වඩා වැඩි කාලයක් අසාර්ථක වෙමින් තිබු Alfa Romeo රථවලට නව ජීවයක් එක් කරමින් තම ජර්මානු ප්‍රතිවාදින් වන BMW M3,AMG 63 සහ Audi RS 5 sportback මාදිලිවලට විශාල අභියෝගයක් එල්ල කරමින් තම සුපුරුදු ආධිපත්‍ය පැතිරවීමට හැකි විය.
සුප්‍රකට Nurburgring ධාවන පථයේ ඉතාමත් ඉහලින් තම හැකියාවන් පෙන්වමින් Porsche 911 GT3,BMW M4 Coupe,Mercedez SLR සහ Lamborghini LP 640 යන සියලුම ප්‍රබල තරගකාරින් අභිබවා තරග වාර්තාවක් තැබීමටද Giulia රථයට හැකි විය.
තම සහෝදර සමාගම වන Ferrari සමාගමේ Ferrari 458 රථය නිපදවූ ඉංජිනේරුවන්ගේ සහයද ලබාගනිමින් නැවතත් තමන්ට අහිමි වූ ස්ථානය ලබා ගැනීමට Alfa Romeo සමාගමට හැකිවුයේ නැවතත් ආදරණිය මෝටර් රථ රසිකයන්ගේ හිත් අමන්දානන්දයට පත් කරමිනි.
මෙම නවතම Giulia රථය පෙර නිපදවූ වෙනත් කිසිම Alfa Romeo රථයක අඩංගු නොවූ තාක්ෂණික අංග විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර active suspension,50/50 weight distribution, Carbon Fiber Active,Aero Front Splitter, Torque Vectoring Technology ඇතළු තාක්ෂණික අංග විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වී ඇත
ඇලුමිනියම් වලින් නිෂ්පාදිත සිලින්ඩර් 6 කින් සමන්විත 2.9 L Twin -Turbo V6 එන්ජිමකින් Giulia රථය සමන්විත වන අතර අශ්ව බල 505 කින් සමන්විත වන මෙම රථයට 0 සිට 100 දක්වා වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තප්පර 3.9 ක් පමණක් වන අතර ලබාගත හැකි උපරිම වේගය 307kmph පමණ වේ.
ඉතින් වසර ගනනාවකට පසුව තමන් අතින් ගිලිහි ගිය අභිමානය නැවතත් ඉතා කෙටි කලකින්ම ලබා ගනිමින් performance saloon මාදිලියේ තම ප්‍රතිවාදීන් වන ජර්මානු,ඇමෙරිකානු සහ ජපාන ප්‍රතිවාදීන්ට ඉතාමත් දැඩි අභියෝගයක් Alfa Romeo සමාගම නිහඩව එල්ල කර ඇති බව නම් අපගේ මතයයි.
ඉතාලි සම්භවයක් සහිත saloon මාදිලියක රථයක අලංකාර බව,වේගවත් බව සහ ආකර්ශනීයත්වය බලාපොරොත්තු වූ බොහෝ දෙනාගේ ආදරණිය තේරීමක් ලෙස Alfa Romeo රථය නිතරගයකින්ම හැදින්විය හැක්කේ සියවසක් පුරා තම ආධිපත්‍ය පැතිරවූ ඔවුන්ගේ තරගකාරී ඉතිහාසය නැවත සිහි කරවමිනි.