ලෝකයේ ජිවත්වන අප සියලුදෙනාටම මිය යාමට පෙර එක් වරක්වත් දැකිය යුතුය යන විවිධ චිත්‍රපට සහ විවිධ ස්ථාන පිලිබදව ඔබ අප සැමදෙනාම අසා ඇත්තෙමු.ඒවගේම මෝටර් රථ ලෝකයේද එවැනි විශිෂ්ට සහ දුර්ලභ නිර්මාණ බොහොමයක් ඇත ඒ අතුරින් Porsche Type 64 රථයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
දැනට ලෝකයේ ධාවන තත්වයේ පවතින පැරණි මෝටර් රථ අතරින් මුළු ලෝකයටම එකක් පමණක් ඇති මෙම රථය අසාමාන්‍යය හැඩයකින් සමන්විත වූ porsche සන්නාමය රැගත් පළමුවන රථයයි.එමනිසා මෙතරම් වටිනාකමක් සහිත මෙම රථය පිළිබද මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ඨාන යන මාතෘකාව යටතේ ගෙන ඒමට අපගේ අරමුණ අතර ඉදිරියටත් විවිද මාතෘකා යටතේ ලිපි පෙළක් ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.
සාමාන්‍ය ජීවිතයේදී අපට බොහෝ විට දැකගත නොහැකි ආකාරයේ අසාමාන්‍ය හැඩයකින් සමන්විත මෙම රථය දකින ඕනෑම කෙනෙකුට මෙය පිටසක්වලින් පැමිණි හදුනානොගත් වස්තුවක් දැයි හැගෙනවා නොඅනුමානය.වර්තමානයේ දැකගත හැකි Porsche 911 රථයක ජානමය ලක්ෂණ Type 64 රථය හිමිවී තිබුනද Porsche රථවලට ආවේනික හැඩය සම්මත කරගැනීමට පෙර මෙවැනි අසාමාන්‍ය හැඩයක් සහිත රථයක් නිපදවීමේ අදහස මෙහි නිර්මාණකරුවන්ට කෙලෙස පැමිණියේද යැයි අපට කිව නොහැක නමුත් දැනට එම සිතුවිල්ල පසෙක දමා පළමුව රථයේ විස්තරය වෙත හැරෙමු.
වර්ෂ 1945 න් පසුව එනම් පශ්චාත් යුධ සමයේ සිට අද දක්වා පැවතුනු මෝටර් රථ තරගාවලි අතරින්ජයග්‍රහණයන් විශාල ප්‍රමාණයක් තමන් සතු කරගත් Porsche මෝටර් රථ සන්නාමයට මෝටර් රථ ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඒ අනුව බොහෝ මෝටර් රථ විචාරකයන්ගේ අවධානය ලොව පළමු Porsche රථය ලෙස හැදින්වෙන 356 රථය වෙත ඇදී ගියද එම රථයට පෙර නිපදවූ Porsche නම රැගත් මෝටර් රථයක් පිළිබද ඔවුනට එතරම් දැනීමක් තිබුනේ නැත.එනමුත් වර්ෂ 1950 ට වසර 10කට පෙර නිපදවූ Porsche නාමය රැගත් Type 64 නම්වූ රථයක් මෑතකදී පැවැත්වූ ලොව ප්‍රසිද්ධම මෝටර් රථ වෙන්දේසියකදී ඩොලර් මිලියන 70කට මිල නියම නියම වීමෙන් බොහෝ දෙනාගේ ආකර්ෂණය මෙම රථය වෙත යොමු විය.
RM Sotheby’s නම්වූ ඇමරිකාවේ පැරණි මෝටර් රථ වෙන්දේසි කරුවන්ගේ වෙන්දේසියකදී මෙම රථය සදහා මිල ගණන් නියම කොට තිබුනේ ඩොලර් මිලියන 13 ක සිට උපරිම මිල ඩොලර් මිලියන 20 කටය නමුත් මෙම රථය සදහා ඇතිවූ ඉල්ලුම හේතුවෙන් අවම මිල ඩොලර් මිලියන 30ක සිට වෙන්දේසිය ආරම්භ වීමත් ඩොලර් මිලියන 17 (seventeen) යන අගය ඩොලර් මිලියන 70 (seventy) ලෙස වරදවා වටහා ගැනීමක් හේතුවෙන් අවසානයේදී අතර මගදී වෙන්දේසිය නවතා දැමුනේ මෝටර් රථ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර විවිදාකාරයේ පුවත් මවමිනි.
Porsche සමාගම සතු පළමුවන මෝටර් රථය වුවද වර්තමානයේ එය පවතින්නේ පෞද්ගලික භාරකාරිත්වයක් යටතේය.එයට හේතුව මුල් කාලයේදීම මෙම රථය වෙනත් පාර්ශවයක් විසින් Porsche සමාගමින් මිලදී ගෙන තිබීමයි.ඊට පෙරදී මෙම රථය පවුලේ රථයක් ලෙස Ferdinand Porsche මහතා සහ ඔහුගේ පුත් Ferry Porsche මහතා විසින් භාවිතා කරනු ලැබිය.පළමුව නිපදවූ Type 64 රථවලින් අවසානයේදීම නිපදවූ මෙම රථය එකලස් කර නිර්මාණය කර තිබුනේ Ferry Porsche මහතා විසින් බව සැලකේ.
කෙසේ නමුත් Type 64 රථයන් 3ක් ආරම්භයේ නිපදවා බවට සාක්ෂි ඇති අතර එම රථයන් අතරින් අදට ඉතිරිවී තිබෙන්නේ එකම එක මෝටර් රථයක් පමණකි.අනෙකුත් රථයන් දෙකකින් එක් රථයක් ලෝක යුද සමයේදී විනාශ වන්නට ඇති බව සැලකෙන අතර අනෙකුත් රථය බ්‍රිතාන්‍ය ප්‍රමුක මිත්‍ර හමුදා ජර්මනිය යටත් කරගන්නා විට ඔවුන් යටතට පත්වූ බවත් ඔවුන් විසින් එය පසුව විනාශ කර දමන්නට ඇති බවද සැලකේ.
පළමුව මෙම රථයේ ආරම්භය පිළිබද පළමුව විස්තර කළහොත් මෙම රථය නිපදවීමේ අරමුණ වී තිබී ඇත්තේ volkswagen මෝටර් රථයේ ආභාෂය ලත් ක්‍රීඩා රථයක් නිපදවීමත් ඉන් පසුව එම රථය මෝටර් රථ ධාවන තරග සදහා යොදා ගැනීමයි.මෙම රථය Rome -Berlin නම්වූ ඉතාලිය සහ ජර්මනිය අතර පැවැත්වූ කිලෝමීටර් 1500ක් පමණ දිගු ධාවන තරගය සදහා යොදා ගැනීමට එකල ජර්මනියේ පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් හට උවමනා වී තිබිණ.Autobahn නම්වූ ජර්මනිය පුරා විහිදෙන අධිවේගී මාර්ග පද්ධතිය ප්‍රචාරණය කිරීමට සමගාමිව ජර්මනිය සහ ඉතාලිය සමග දෙරටේ මිතුදම් අලුත් කරගැනීම හිට්ලර් ගේ අරමුණ වී තිබිණ.
ධාවන තරගාවලිය වර්ෂ 1939 දී සැප්තැම්බර් මස ආරම්භ වීමට කටයුතු සුදානම් කර තිබුනද තරගය අවලංගු කර දැමුනේ ඒ වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම හේතුවෙනි.හිට්ලර්ගේ අණ පරිදි KDF Wagon හෙවත් Volswagen beetle රථය නිපදවීමේ මුලිකයා වූ මහාචාර්ය Ferdinand Porsche මහතාටම Rome -Berlin තරගය සදහා ක්‍රීඩා රථයක් නිපදවීමට භාර දී තිබිණ.
ඒකාධිපති පාලකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් තම නාසි ජර්මනියේ බලය,තාක්ෂනය නිරුපනය වන පරිදි සුවිශේෂී වේගවත් රථයක් නිපදවීම Ferdinand Porsche මහතාට භාර කෙරින.තමන්ගේම මෝටර් රථ කර්මාන්ත ශාලාවක් පිළිබද සිහින දකිමින් සිටි Ferdinand මහතාට මෙය හොද අවස්ථාවක් වූ අතර Beetle රථයේ ආභාෂය ගත් සැහැල්ලු,වේගවත් මෝටර් රථයක් නිපදවීම එලෙස ඇරබිණ.
මෙහිදී Volskwagon type 1 රථයේ චැසිය,එන්ජින් ආභාෂය ගත් නමුත් වෙනස් ආකාරයේන් type 64 රථය සදහා යොදා ගැනින.සැහැල්ලු ඇලුමිනියම් වලින් නිපදවූ බදක් සහිතව වාතයෙන් සිසිල් වන 1.0 L flat -four වර්ගයේ අශ්වබල 32 ක් සහිත එන්ජිමක් මෙම රථය සදහා යොදා ගැනින.චැසිය සහ රථයේ බොහෝ උපකරණ නිපදවීම සදහා ජර්මානු ගුවන් යානා තාක්ෂනය යොදා ගැනුණු අතර Volswagen රථයේ gear stick,speedometer,headlight ඇතුළු විවිද උපකරණ මෙම රථයට සවි කිරීම සිදුවිය.
වේගවත් බවින් යුතු අඩු බරක්(lightweight) සහිතව වායුගතික කාර්යක්ෂමතාව (aerodynamics efficiency) උපරිම අයුරින් පවත්වා ගනිමින් රථයේ මුලුබර(weight distribution) නිසි ආකාරයෙන් බෙදී යන අයුරින් මෙම නව රථය නිපදවීමට ඔවුන් සමත් විය.
ජල බින්දුවක හැඩය ඇති රථයේ බද නිපදවා තිබු අතර මුළු රථය පුරාම සුවිශේෂී අනාකුල හැඩය පවත්වා ගැනීමට ඔවුන් වග බලාගෙන තිබු අතර දෙපස ටයර සහිත ප්‍රදේශවලට වාතය ගමන් නොකොට වාත ධාරා ගමන් නොකොට රථයෙහි බද දිගේම වාතය රැගෙන යා හැකි අයුරින් ආවරණය කොට තිබිණ.තවදුරටත් විස්තර කරන්නේ නම් ජර්මානු ප්‍රහාරක ගුවන් යානාවක නියමු කුටියකට සමාන අයුරින් රියදුරුට අංශක 360 ක පරාසය පැහැදිලිව පෙනෙන අයුරින් type 64 රථය නිමවා තිබීම සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැකිය.
මෙම රථයට ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 233 ක් පමණ වන බව සැලකෙන අතර එම අගය සලකා බැලීමේදී වර්තමානයේ වුවද ඉහල වේගයක් ලෙස සැලකිය හැකිය.ඒ අනුව බලනවිට නාසි ජර්මානු තාක්ෂණයේ ප්‍රතිමුර්තියක් ලෙස මෙම සුවිශේෂී රථය හැදින්විය හැකිය.ලොව කිසිම ආකාරයේ මෝටර් රථයක දැකිය නොහැකි අමුතුම හැඩයකින් සමන්විත මෙම රථය පොළොවේ දිවෙන හදුනා නොගත් ධාවන වස්තුවක් (Undefined Driving Object -UDO) ලෙසද බොහෝ දෙනා හැදින්වීමට හේතුව දශක ගණනක අනාගත තාක්ෂනය අතීතයෙන් රැගෙන ආ මෝටර් රථයක් වීම නිසයි .
අවසානයේදී අප අපගෙන්ම විමසිය යුතු ප්‍රශ්නය වන්නේ දෙවන ලෝක යුධ සමයේ සිදු කරන ලද බොහෝ අසාමාන්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලට ප්‍රසිද්ධියක් ඉසිලු ඇඩොල්ෆ් හිට්ලර් ඇතුළු නාසි ජර්මානුවන් අදටත් UFO(Undefined Flying Objects) ලෙස හැදින්වෙන හදුනානොගත් අභ්‍යවකාශ වස්තුන්වල හැඩයන්ට බොහෝ සෙයින් සමාන රථයක් නිපදවීමේ සිතුවිල්ල කෙලෙස පහල වුයේද යන්නයි.ඔවුන් යම් දෙයක් දැන සිටියාද ? එහෙමත් නැත්නම් එය අහබුවෙන් මෝටර් රථය නිර්මාණය කල පුද්ගලයාගේ සිතට පැමිණි දෙයක්ද? තීරණය ඔබ සතුයි.