2020 Porsche Carrera 911 S – නොනිමෙන ක්‍රීඩාශිලිත්වයෙන් හෙබි අක්ෂ පාක්ෂික විප්ලවවාදියා

Porsche 911 මෝටර් රථ ලෝකයේ තවත් එක් මෝටර් රථ සන්නාමයක් නොව එය මෝටර් රථ ලෝකයේ විප්ලවයක් සිදුකල අදටත් ලොව ජනප්‍රියම සහ විශාලතම විවිදත්වයෙන් යුතු ක්‍රීඩාශීලි මෝටර් රථ මාදිලියන් සතු ජර්මානු සමාගමයි.අඩු සිලින්ඩර ධාරිතාවයකින් යුතු එන්ජිමකින් වැඩි බලයක් සහ වේගයක් සහිත මෝටර් රථ නිපදවීමෙහි ඔවුහු උපන්ගෙයි දක්ෂයන් වන අතර ඔවුනටම ආවේනික වූ සුවිශේෂී හැඩයක් සැමවිටම පවත්වාගනිමින් විවිදාකාරයේ මාදිලි විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන් සදහා හදුන්වා දෙනු ලැබිය.

Porsche මෝටර් රථ පිළිබද විමසීමේදී ඔවුන්ගේ ඉතිහාසය,පසුකරන ලද සුවිශේෂී සන්දිස්ඨාන ඇතුළු ඔවුන්ට ආවේනික කරුණු විශාල ප්‍රමාණයක් ඇති හෙයින් ඒ පිලිබදව පළමුව අවදානය යොමු කිරීම වඩා උචිත වේ.

ඉතින් අද මෝටර් රථ ලෝකයේ ඉහලින්ම වැජබෙන සන්නමයක් වන Porsche මෝටර් රථ සමාගමේ උපත සිදුවන්නේ ඔස්ට්‍රියානු – හංගේරියානු සම්භවයක් තිබු ජර්මනියේ වාසය කල මහාචාර්ය Ferdinand Porsche මහතාගේ මුලිකත්වයෙනි.එකල එනම් වර්ෂ 1934 දී පළමුව Volkswagen Beetle රථය නිපදවීමේ කොන්ත්‍රාත්තුව භාරව කටයුතු කල Porsche මහතා තමන්ගේම සමාගමක් ගොඩ නැගීමේ ප්‍රයත්නයේ ප්‍රතිපලය ලෙස පළමු porsche නිපදවුයේ යැයි කීම වරදක් නොවේ.

පළමුව Beetle රථය නිපදවීමේදී ලබාගත් දැනුම ආභාෂයෙන් පළමු Porsche නාමය රැගත් Type 64 රථය වර්ෂ 1939 දී නිපදවූ අතර එය පරීක්ෂණ මට්ටමේ රථයක් ලෙස මුල් කාලයේදී භාවිතා වූ අතර එය විශාල වශයෙන් නිපදවීම සිදු නොවුන අතර රථයන් 3ක් පමණක් නිපදවීම සිදු විය.

කෙසේ නමුත් ඒ වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුන හෙයින් ජර්මනියේ බොහෝ සමාගම්වලට මෝටර් රථ නිපදවීම නවතා දමා යුද්ධ ටැංකි ඇතුළු යුධ උපකරණ නිපදවීම අනිවාර්ය කර තිබුනේ එකල ජර්මනියේ නායකයාවූ ඇඩොල්ෆ් හිට්ලර් ගේ අණකට අනුවයි.

මෙම හේතුව නිසා තමාගේම මෝටර් රථ සමාගමක සිහිනය Porsche මහතාට ඉටු කරගැනීමට දෙවන ලෝක යුද්ධය අවසාන වන තුරුම නොහැකි විය.එසේ වුවද තම පියාගේ සිහිනය ඉටු කරගැනීමට ඔහුගේ පුත් Ferry Porsche මහතාටද උවමනා වී තිබු අතර පියාගේ Beetle රථයේ ආභාෂය ලබා ගනිමින් වර්ෂ 1940 දී Porsche 356 රථය එලි දැක්වීමට ඔහුට හැකිවිය.

රවුම් හැඩැති බදක් සහිතව පිටුපසට සවි කරන ලද සිලින්ඩර් 4කින් යුතු flat four වර්ගයේ air cooled එන්ජිමක් සහිතව මෙම රථය එළිදැක්වුණ අතර අඩු සිලින්ඩර් ධාරිතාවයකින් වුවද විශාල බලයක් සහ වේගයක් ලබාගැනීමට හැකිවීම හේතුවෙන් මෙම රථය ඉතාමත් සාර්ථක රථයක් ලෙස කරලියට පැමිණෙමින් තිබිණ.

ඉන් පසුව මෙම ලබාගත් සාර්ථකත්වය හේතුවෙන් නවතම රථයක් නිපදවීමට ඔවුන් අදහස් කොට ගෙන තිබු අතර සිලිඩර් 4හි එන්ජිම වෙනුවට සිලින්ඩර් 6කින් සමන්විත flat six එන්ජිමක් යොදාගැනීමට ඔවුන් බලාපොරොත්තු විය.මෙම රථයට යොදන නාමය ලෙස 901 අදහස් කරගෙන තිබුනද මෝටර් රථ මාදිලියක මනම මැදට 0 යොදාගැනීම නීත්‍යානුකුල නොවන බව එවකට ජර්මනියේ පාලකයා වූ ප්‍රංශ රජය විසින් ඔවුන්ට නිවේදනය කොට තිබිණ.

ඒ වන විට අක්ෂ පාක්ෂික රටක් වූ ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී තිබු අතර ප්‍රංශය ඇතුළු මිත්‍ර පාක්ෂික රටවල් යටතේ ජර්මනිය පාලනය විය.මේ අතරතුර Ferdinand Porsche මහතාටද යුද අවි නිපදවීම සහ අපරාධ යටතේ චෝදනා එල්ල වී තිබු අතර ඔවුන්ගේ පාලනයට නතු වීම හැරෙන්නට වෙන කිසිවක් කල නොහැකි විය.

මෙලෙස වර්ෂ 1948 දී ආරම්භ වූ 911 නාමය රැගත් පළමු සාමාජිකයාගේ සිට පිලිවෙලින් 356 B,356 C,912,914,928,930 turbo,968 Clubsport ,959 ඇතුළුව විවිද මාදිලි විශාල ප්‍රමානයක් භාරිභෝගිකයන්ට Porsche සමාගම විසින් හදුන්වා දෙන ලදී.

වර්ෂ 1988 දී 964 රථයට all -wheel-drive පද්ධතියත්,වර්ෂ 1993 දී 993 රථයට පළමු BiTurbo මාදිලිය හදුන්වාදීමත්,වර්ෂ 1997 දී 996 රථයට Water Cooling පද්ධතිය හදුන්වාදීමත් ඇතුළුව සැමවිටම වර්තමානයට ඉදිරියෙන් තම තාක්ෂනය ඔවුන්ගේ මෝටර් රථවලට හදුන්වාදීමට ඔවුනට හැකිවිය.

වර්ෂ 1970 දී හදුන්වාදුන් Carrera නාමය රැගත් 911 අභාෂය ලත් පළමු මෝටර් රථයට Carrera යන නාමය ලැබී තිබුනේ මෙක්සිකෝවේ පැවැත්වූ Carrera Panamericana යන ප්‍රසිද්ධ මෝටර් රථ තරගාවලිය හේතුවෙනි.

එතැන් සිට ආරම්භ වූ 911 පරම්පරාවේ මෝටර් රථවලට ලොව පුරා පැවැත්වූ මෝටර් රථ තරගාවලි විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට හැකිවූ අතර 30,000කට අධික ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගත් ක්‍රිඩාශීලි මෝටර් රථ නිපදවන සමාගම් අතරින් ඉහලින්ම වැජබිමට අද ඔවුන් සමත් වී තිබේ.

තාක්ෂණික වශයෙන් ගත් කල අඩු සිලිඩර් ධාරිතාවයක් සහිත එන්ජිමකින් වැඩි බලයක් ලබාගැනීමේ හැකියාව Porsche රථවලට ආවේනික වූ Boxer වර්ගයේ එන්ජින්වලට තිබිණ.එන්ජිමේ සිලින්ඩර් තිරස් අතට ක්‍රියාත්මක වීම නිසාත්,එන්ජිමේ උස අවම වීම හේතුවත් හේතුවෙන් ගුරුත්ව කේන්ද්‍රය පහලින් පිහිටම නිසා ධාවනයේදී හැසිරවීම ඇතුළු බොහෝ කරුණු වලින් සියලුම 911 රථයන් අනෙක් රථයන්ට වඩා ඉදිරියෙන් තිබිණ.එම රථවල යොදාගැනෙන Dual Clutch Transmission පද්දතියද ඉතාමත් ඉහල ක්‍රියාකාරිත්වයකින් යුක්ත වේගවත් ගියර් පද්ධතියක් ලෙසද ප්‍රසිද්ධය.

අද මාතෘකාව වන Carrera S රථය 911 පවුලේ 8 පරම්පරාවේ අලුත්ම සාමජිකයායි.මෙම 911 මාදිලිය Carrera ,Carrera S,4,4S ආදී වශයෙන් trim level 4 කින් සමන්විත වන අතර පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව මෙම මාදිලි හදුන්වාදීම සුපුරුදු පරිදි සමාගම විසින් සිදුවේ.3.0 L සිලින්ඩර් ධාරිතාවයකින් යුත් flat six twin turbo charged එන්ජිමකින් සමන්විත නව Carrera පවුලේ සාමාජිකයා අශ්වබල 380කින් යුක්ත වන අතර 0 සිට 100 දක්වා පැමිණීමට ගතවන්නේ තත්පර 3ක කාලයක් පමණි.

ප්‍රමාණවත් ඉන්ධන කාර්යක්ෂමතාවය,ඉඩකඩ,ආරක්ෂාව ඇතුළුව පුද්ගලයන් 4 දෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමට හැකිවීම අනෙකුත් Sport මෝටර් රථයන් අතර Porsche 911 රථවලට සුවිශේෂී ස්ථානයක් ලොව පුරා මෝටර් රථවලට ආදරය කරන්නන් අතර හිමිවීමට හේතු වී තිබේ.

Porsche රථයන්ටම ආවේනික වූ සිවිශේෂී ආකර්ශනිය හැඩය හේතුවෙන් ලොව ඕනෑම තැනකදි පහසුවෙන් කැපී පෙනෙන රථයක් වීම සහ ක්‍රීඩාශීලි ධාවන අත්දැකීමක් නිරතුරුවම ලබාදීම ඔවුන්ගේ ජනප්‍රියත්වයේ සදාකාලික රහස වී තිබේ.

Leave a reply