2020 නව වසර ආරම්භයේදීම පටන් දිගින් දිගටම ලෝකයේ නං දෙසින් ලැව් ගිනි,භූමිකම්පා,යුධ බිය,ගංවතුර,මාරාන්තික වයිරස ඇතුළු එකී නොකී අවාසනාවන්ත සිදුවීම් විශාල ප්‍රමාණයක් අවසානයේ ජනවාරි මාසය ගෙවී ගියේ ලෝකයේ බොහෝ දෙනෙකුට සොබාදහමේ නියමයන්ට පිටුපා කටයුතු කිරීමේ ආදීනව මතක් කර දෙමිනි.
ලෝකවාසී බොහෝ දෙනෙකුගේ දෑස් විවර වීමට පටන් ගන්නේ සොබාදහම විසින් මිනිසාට බොහෝ වේදනාවන් ලබා දීමෙන් අනතුරුවය.මේ සිදුවීම් සියල්ල සමග අමතක වී ගිය මනුෂ්‍යත්වය නැවත දළුලා වැඩෙන්නේ මානව වර්ගයා තව දුරටත් රැකගැනීමට නම් පළමුව මිනිසා මිනිසාට සේවය කල යුතුය යන උදාන වාක්‍යය නැවතත් මතක් කර දෙමිනි.
ඉතින් මෝටර් රථ ලෝකයේද මානව හිතවාදී සමාගමක් ලෙස ඉහලින්ම වැජබෙන සන්නාමයක් ලෙස ස්වීඩන් ජාතික සමාගමක් වන Volvo සමාගම හැදින්විය හැකියි.මිනිසාගේ යහපත උදෙසා ආරක්ෂාව උදෙසා මහගු සේවයක් ඉටු කරන ලද Volvo සමාගම හේතුවෙන් ලොව මිලියන ගණනකගේ ජිවිත අතීතයේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් රැකෙනවා යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.
අද ලෝකයේ නිපදවනු ලබන සියලුම මෝටර් රථවල අනිවාර්යය ආරක්ෂිත අංගයක් වන (3 point safety belt)ආසන ආරක්ෂණ පටි තාක්ෂනය ලොවට හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ Volvo සමාගමටයි.මෙම නිමයුම ලෝකයේ මෙතෙක් කලකට නිපදවූ ඉහලම ආරක්ෂණ උපාංගය ලෙස වර්තමානයේදීද පිළිගනු ලබන කරුණකි.මෙම නිමයුම සදහා පේටන්ට් බලපත්‍රය තමා සතුකොට තබා නොගෙන ලොවටම නොමිලයේ මෙම තාක්ෂනය ලබාගැනීමේ අවකාශය ලබාදුන් Volvo සමාගමට ඔබ අපගේ ප්‍රණාමය හිමි විය යුතුමය.
මෝටර් වාහනයක ගමන් කොට ඇති ඔබ අප සැවොම හොදින් දන්නා ආසන පටිය පළදන සෑම අවස්තාවකම ඔබගේ ජිවිත ආරක්ෂා කර ගැනීමේ පුරෝගාමියකු ලෙස මෙන්ම ලෝකයේ සිදුවන මාරාන්තික අනතුරු වලින් 50% කට අධික මිනිස් ජිවිත ප්‍රමාණයක් රැකෙන්නේ මෙම Volvo සමාගමේ නිපැයුමට පින් සිදු වන්නටය.
ලොව අංක එකේ මානව හිතවාදී සමාගමක් ලෙස කුඩා ළමුන් රදවා තබන ආසන තාක්ෂනය (Rearward-facing Child Safety Seat),පැති බලපෑම් ආරක්ෂාව(Side Impact Protection),වාහනය විරුද්ධ අතට පෙරලි යාමෙන් ඇතිවන අනතුරු සදහා ආරක්ෂාව (Roll-Over Protection System),
පූර්ණ ස්වයංක්‍රීය තිරිංග සහිත පදිකයින් හඳුනා ගැනීම(Pedestrian Detection with Full Auto Brake) යන බොහෝ ආරක්ෂිත ක්‍රමවේදයන් ගණනාවක් ලොවට හදුන්වා දෙනු ලැබුවේද Volvo සමාගම විසිනි.
මානව හිතවාදී සමාගමක් මෙන්ම පරිසර හිතකාමී සමාගමක් ලෙසද Volvo සමාගම හැදින්වෙන්නේ oxygen-sensing probe නමින් හැදින්වෙන දැනට ලෝකයේ ධාවනය වන ඕනෑම පෙට්‍රල් එන්ජිමක භාවිතාවන අහිතකර වායුන් 90% ක් වාතයට යොමුවීමෙන් වලක්වන උපකරනයන්ද එම සමාගම විසින් නිපදවීම හේතුවෙනි.
ලොව ආරක්ෂතම මෝටර් රථ නිපදවන සන්නාමය හැරුණු කොට Volvo සමාගම ප්‍රවාහන,නාවික,ආරක්ෂණ,බල සැපයුම් සහ ඉදිකිරීම් යන ක්ෂේත්රයන් ගණනාවකින් දායකත්වය සපයයි.ඒ අනුව මුළු යුරෝපය පුරාම 15% ක පමණ ආහාර ප්‍රවාහනය සිදුවන්නේ Volvo truck රථ සහ Prime mover (කන්ටේනර් බහාලුම් රැගෙන යන රථ) මගින් වන අතර මේ මොහොතේත් ලොව පුරා මිලියන 10කට අධික මගින් තම ගමනාගමන පහසුකම් සපුරා ගනු ලබන්නේ Volvo සමාගමට අයිති බස් රථ වලිනි.
ට්‍රක් රථ නිපදවනු ලබන සමාගම් අතරින් ප්‍රමුකතම සමාගමක් වන Volvo සමාගම ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය අතින් ඉහලම රථ ලෙස රියදුරන් අතරද හොද නමක් දිනාගෙන සිටයි.ලන්ඩනය ඇතුළු විශාල ප්‍රමාණයේ නගරවල කසල කළමනාකරණය ඇතුළු පරිසර ආරක්ෂණ කටයුතු බොහොමයකටද Volvo සමාගම නිහඩව තම දායකත්වය සපයයි.අද මාතෘකාව වන S60 රථය පිලිබද හැදින්වීමට පෙර Volvo සමාගමේ ඉතිහාසය පිළිබදවද වැදගත් කරුණු පෙළක් ගෙන එම උචිත යැයි අප සිතන්නෙමු.
Volvo සමාගමේ ආරම්භය සිදුවන්නේ ස්වීඩන් ජාතික කර්මාන්තකරුවකු වූ Assar Gabrielsson සහ මෝටර් රථ ඉංජිනේරුවකු වූ Gustav Larson මහතාගේ සංකල්පයකට අනුවයි.වර්ෂ 1924 දී ජුනි මාසයේදී ස්වීඩනයේ Stockholm නගරයේදී සැදෑවක හමුවන ඔවුන් දෙදෙනාගේ අරමුණ වුයේ ස්වදේශීය මෝටර් රථ සමාගමක් ආරම්භ කිරීමයි.ඒ අනුව SKF නම්වූ බෝල බෙයාරින්(ball bearing) නිපදවන මව් සමාගමේ උප සමාගමක් ලෙස Volvo සමාගම ආරම්භ වන අතර Assar Gabrielsson මහතා ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් Gustav Larson ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙසත් කටයුතු ආරම්භ කරනු ලබනවා.
Volvo සමාගමේ මව් සමාගම වන SKF සමාගම මෙම මෝටර් රථ නිපදවීමට යොමු වුයේ පළමු ලෝක යුද්ධය අතරතුර කාලයේදී ඇමෙරිකාව ඇතුළු මිත්‍ර පක්ෂයේ රටවලට සහ ජර්මනිය ඇතුළු අක්ෂ පාක්ෂයේ රටවලට ball bearing අලෙවි කර ලබාගත් විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන් සතුව තිබීම හේතුවෙනි.පලමු ලෝක යුද්ධය අතරතුරදී ස්වීඩනය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළහෙයින් ඔවුන් විශාල වශයෙන් යුද්ධය සදහා මැදිහත් නොවී තිබිණ.
එහෙයින් ස්වීඩනයේ ආර්ථික තත්වය අනෙකුත් යුරෝපිය රටවලට වඩා හොද තත්වයක තිබු හෙයින් මෙම අවස්තාව හොදින් ප්‍රයෝජනයට ගැනීමට ඔවුන්ගේ බලාපොරොත්තුව විය.අතීතයේ පටන්ම ලෝකයේ අනර්ගතම යකඩ (iron) නිෂ්පාදනයට ස්වීඩනය හිමිකම් කිවූ හෙයින් ඔවුන් නිපදවූ මෝටර් රථ වල ඉල්ලුමද ඉහල යෑම සිදු වුයේ ශක්තිමත්ම සහ ආරක්ෂතම මෝටර් රථ නිපදවන සමාගමක් ලෙස කිර්තියක්ද දිනාගනිමිනි.
මෙහිදී වෙළද නාමය ලෙස යොදාගත් වොල්වෝ (Volvo) යන්නෙහි අර්ථය වන්නේ ලතින් භාෂාවෙන් I Roll (මම රෝල් කරනවා) යන්නයි.එය මව් සමාගමේ නිෂ්පාදනය වන Ball bearings සිහිපත් වන අයුරින්ද යොදා ගැනින.තවදුරටත් Volvo ලාංජනයෙන්ද සංකේතවත් වන්නේ යකඩ යන්නයි (අතීතයේදී යකඩ සදහා රසායන සංකේතය මෙය වේ) තවත් අයුරකින් මෙය පුරුෂයින් සදහා වූ සංකේතය ලෙසද අර්ථ දක්වනු ලබයි.තවදුරටත් පිරිමියකු සතු ශක්තිය,බලය සහ ආරක්ෂා සහිත බවද මෙය මගින් සංකේතවත් වේ.
මේ අයුරින් වර්ෂ 1927 දී Volvo ÖV 4 නම්වූ රථය නිපදවමින් ස්වීඩනයේ Gothenburg නගරය මුල්කොටගෙන ආරම්භ වූ Volvo සමාගම ආරක්ෂාව (safety) සහ විශ්වාසනීයත්වය (reliable) සහිත යුරෝපිය වාහනවල සංකේතය ලෙසද වරෙක හැදින්විය.Volvo 240 නම්වූ station wagon වර්ගයේ රථයද සමාගමේ නාමය ඉදිරියට ගෙන ඒමට දායක වූ රථයක් ලෙසද අදටත් හැදින්වේ.
පසුව වරින් වර Ford වැනි සමාගම් අතරේ හිමිකාරිත්වයට යටත්ව පැවතුනු Volvo සමාගමේ වර්තමාන හිමිකරු වන්නේ චීනයේ Geely සමාගමයි.Volvo xc90 රථය Geely සමාගම යටතේ නිපදවූ පළමු රථය වන අතර S60 රථයද එම සමාගම යටතේදීම නිෂ්පාදනය වන නමුත් එකලස් කිරීමේ කටයුතු සිදු වන්නේ
ඇමරිකාවේදීය.Compact Luxury Sedan ගණයට අයිතිවන මෙම රථය 2000 වර්ෂයේදී ආරම්භ වූ තුන්වන පරම්පරාවේ සාමාජිකයා වන අතර මෙය ඇමෙරිකාවේ දකුණු කැරොලිනාවේ ආරම්භ කරන ලද පළමුවන Volvo සමාගමේ නිර්මාණයකි
S60 රථයේ පළමුවන පරම්පරාවේ මෝටර් රථ බ්‍රිතානයේ සහ යුරෝපයේ පොලිස් රථයන් ලෙස යොදාගැනීමද මෙහිදී සුවිශේෂිව සදහන් කල යුතු කරුණකි.මෙම S60 රථය සිලින්ඩර් 4කින් සමන්විත Direct-Injected Turbocharged එන්ජිමක් මගින් පණගැන්වෙන අතර අශ්ව බල 250 කින් යුක්ත වේ.මෙහි එකිනෙකට වෙනස් මාදිලි 4කින් යුක්ත රථයන් ලෙස S60 Momentum, S60 Inscription, S60 R-Design, S60 T8 Polestar Engineered හැදින්විය හැකිය.
මෙහිදී Volvo රථවල performance රථයන් R නමින් හැදින්වෙන අතර electric මෝටර් සහිත performance රථයන් Volvo සමාගමට අනුබද්ධ Polestar (ධ්රැව තරුව)නම්වූ සමාගම සමග එක්වී නිපදවනු ලබයි.ඉහත කි Polestar T8 රථය නිමවෙන්නේද එම සමාගම සමග ඒකාබද්ධ නිපැයුමක් ලෙස වන අතර එම රථය Turbocharged, Supercharged සහ hybrid (with electric motor)යන සියලුම තාක්ෂනයන්ගෙන් බලගැන්වෙන රථයකි.මෙම R design සහ Polestar යන මාදිලි දෙකෙහිම රථයන් BMW සමාගමේ M Division සහ Mercedes සමාගමේ AMG රථවලට ආදේශකයක් ලෙස නිපදවන රථ පෙළක් ලෙසද හැදින්විය හැකිය.
කෙසේවෙතත් Volvo රථවලටද කලකට පසුව වෙළදපොලක් නිර්මාණය වී ඇති වුවද ප්‍රතිවාදී ජර්මානු රථවල බලය(Power),හැකියාව(Performance) සහ හැසිරවීමේ හැකියාව (Handling) අතින් සලකන විට Volvo තරමක් පසුපසින් සිටියද සුඛෝපභෝගී බව (Luxury),ඉඩකඩ සහිත බව (Spacious),අනර්ගතම ඇතුලත නිමාව (Interior refinement),ශක්තිමත් බව (strong chassis system) සහ ආරක්ෂාව (safety) අතින් ඉතාමත් ඉහලින්ම සිටින බව කිවයුතුමය.
මෙම රථය R design සහ Polestar යන මාදිලි දෙකෙහිම රථයන් BMW සමාගමේ M Division සහ Mercedes සමාගමේ AMG රථවලට ආදේශකයක් ලෙස නිපදවන රථ පෙළක් ලෙසද හැදින්විය හැකිය.තවත් කිවයුතුම කරුණක් ලෙස Volvo රථවල නිර්මාණ භාෂාව (design language)ප්‍රධාන ස්ථානයක් ගනු ලබන මුල් කල සිටම Volvo රථවලටම ආවේනික හැඩයක් තිබුණු අතර ඔවුන් එය බොහෝ විට එලෙසම පවත්වා ගනු ලැබිය.එම නිසා මුල් කාලයේ Volvo රථ boxy හැඩයක් ගනු ලැබිණ නමුත් මෑතක සිට ඔවුන් යොදාගන්නා නවතම (design language) නිර්මාණ භාෂාව බොහෝ විට පාදක වී ඇත්තේ මුල් කාලයේදී නිපදවූ P800 රථයට අනුරුපවයි.
මෙහිදී යොදාගැනෙන මිටියක හිසක හැඩති ප්‍රධාන ලාම්පු (Headlights) ඉතා සුවිශේෂී වන අතර එයට පාදක වී ඇත්තේ තෝර් (Thor) නම්වූ පැරණි ස්වීඩනයේ වයිකින්ග් (Viking) යුගයේ වැසියන් විසින් අදහනු ලැබූ දෙවියාගේ මිටියයි..මෙහිදී ස්වීඩනය මුලික කරගත් නොර්ස් නම්වූ පුරාවෘත්තයේ ගිගුරුම්, අකුණු, කුණාටු, ඕක් ගස්, ශක්තිය, මිනිස් සංහතිය ආරක්ෂා කිරීම, ශුද්ධකමට අමතරව සශ්‍රීකත්වය යන මිටිය පාලනය කරන දෙවියා (Thor) තෝර් ලෙස හදුන්වනු ලබයි.
ඒ අනුව බොහෝ කරුණු සලකා බලනවිට Volvo සමාගම මිනිසාගේ යහපත සහ පරිසරයේ ආරක්ෂාව උදෙසා විවිද අයුරින් දායක වී ඇති බව පෙනීයයි.ඉහත කියන ලද සියලු කරුනු තවත් ඔබටම සනාථ කිරීමට අවශ්‍ය නම් Volvo සමාගමේ වෙළද දැන්වීමක් නැරබීම ප්‍රමාණවත් වේ එය මන්දයත් ඔවුන්ගේ වෙළද දැන්වීම් එතරම්ම හැගීම්බර (emotional) ලෙස නිපදවා ඇති හේතුවෙනි.
කෙටින්ම කිවහොත් Volvo සමාගමේ සියලුම මෝටර් රථ නිපදවන්නේ (Cars are driven by people) යන සමාගමේ නිර්මාතෘවරයන්ගේ අදහස මුදුන්පත් වන ආකාරයෙනි.ඉතින් මේ සියල්ලම අවසානයේදී මෙයින් පසු ආසන පටියක් පළදින සෑම අවස්ථාවකදීම Volvo යන නාමය ඔබගේ සිහියට නොඑවියැයි අපට කිව නොහැකිය.