Volkswagen Beetle හි ආශච්ච්‍රදායක කථාව – සෑම ගමනාන්තයක අවසානයක්ම නව ආරම්භයකටද සනිටුහන් වේ.

මෙම විශ්වයේ පවත්නා සෑම සජීවී සහ අජීවී සියලුම වස්තුන්ට බලපවත්වන සත්‍යයක් වේ නම් ඕනෑම දෙයකට ආරම්භයක් මෙන්ම අවසානයක්ද තිබීමයි.පසුගිය දින කිහිපයකට පෙර අවසන් වූ 2019 වර්ෂයට පසුව 2020 නව වර්ෂය වෙත අප පිය නැගුවේ අවසානය සහ ආරම්භය නොනැවතීම සිදුවන ලෝක ධර්මතාවයක් බවට අපට පසක් කරමිනි.කෙසේ වෙතත් නව වසරේ අපගේ පළමුවන පොස්ට් එක මෙලෙස පලකරන්නේ උදාවූ මෙම නව වර්ෂයේ ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරමිනි.

යමක් ආරම්භ වන විට යමක් අවසානය වීමද මෝටර් රථ ලෝකයටද පොදු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.වසර 70 කට අධික ඉතිහාසයක් ඇති ඔබ අප කවුරුත් හොදින්ම දන්නා Volkswagen Beetle රථය (ඉබ්බා කාරය ලෙස හදුන්වනු ලබන) පසුගිය 2019 වර්ෂයේදී සියලුම නිෂ්පාදන කටයුතු අවසන් කරනු ලැබූ බව නිවේදනය කරමින් The Last Mile | Beetle නම්වූ අතිශය හැගීම්බර වූ සමුගැනීමේ animated වීඩියෝවක් Volkswagen USA සමාගම (අවසාන Beetle රථය නිපදවනු ලැබූ සමාගම) විසින් පසුගිය 31 වනදා අන්තර්ජාලයට නිකුත් කර තිබිණ.

කුඩා තරුණයෙකුගේ කුඩා කාලයේ සිට තරුණ විය,මැදි විය සහ මහළු විය දක්වා තමන් සමග සිටි හුරුබුහුටි Beetle රථයත් සමග තම ජිවිතයේ සියලුම සංධිස්ථාන ගෙවී යන අයුරු හරිම අපුරුවට ගෙනදැක්වීමට එම වීඩියෝවට හැකි වී තිබිණ.එයත් සමගම මෙම හුරුබුහුටි beetle රථයට ආදරය කල බොහෝ දෙනා ඉතාමත් හැගීම්බරවුවාට නම් කිසිසේත්ම සැකයක් නොමැත.

එය එසේ වුවද Volkswagen සමාගම Beetle රථයට සම්පුර්ණයෙන්ම සමුදෙන බව ප්‍රකාශ කර තිබුනේ 2018 වර්ෂයේදීය.පසුව 2019 වර්ෂයේ ජුලි මාසයෙදී අවසාන Beetle රථයන් වන Final Wolfsburg Edition SE සහ SEL රථයන් වෙළදපොලට නිකුත් වුවද සම්පුර්ණයෙන්ම නිෂ්පාදනයන් අවසාන වූ බව බොහෝ දෙනා දැන ගනු ලැබුවේ ඉහත කි වීඩියෝව නැරබිමෙනි.

මෙලෙස ඉන්ධන දහනයෙන් ධාවනය වන අවසාන රථයේ නිෂ්පාදනයන් වසර 70කට පසුව කෙලවර වුවද නැවත විද්‍යුත් බලයෙන් ධාවනය වන Volswagen රථයක් ඉදිරි වර්ෂයේ නිකුත්වන බවට සමාගම විසින් ප්‍රකාශ කරන ලදී.එනමුත් නිපදවීම අවසන් කරන ලද මෙම කුඩා මෝටර් රථය වසර ගණනක් තිස්සේ මෙතරම් ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට හේතු බොහොමයක් වේ එම නිසා මෙම රථයේ ඉතිහාසය පිළිබද ආවර්ජනයකින්ම කරුණු ගෙන එම වඩා උචිත වේ යැයි අප සිතන්නෙමු.

Beetle රථය නිපදවන ජර්මනියේ Volkswagen මෝටර් රථ නිෂ්පාදන සමාගම යනු ලෝකයේ දැනට දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන අතර එය දෙවෙනි වන්නේ Toyota සමාගමට පමණි.වර්ෂ 1938 සිට අද දක්වා මිලියන 23 කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති Beetle රථය රටවල් 91 කට අධික ප්‍රමාණයක් ව්‍යාප්ත වීමට හේතු ලෙස මිලෙන් අවම රථයක් වීම,ඇතුලත විශාල ඉඩ ප්‍රමාණය සහ නඩත්තු වියදම් අඩු වීම වැනි කරුණු දැක්විය හැකිය

ජනතාවගේ රථය ලෙස හදුන්වන Beetle රථය පළමුව නිපදවීමේ ගෞරවය හිමි වන්නේ Ferdinand Porsche මහතාට වන අතර එය ජර්මනියේ එකල සිටි ඒකාධිපති නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) ගේ සංකල්පයකට අනුව ලොවට බිහිවූ නිර්මාණයකි.හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධුරයට පත්වීමෙන් පසුව ජර්මනිය ලෝකයේ පාලක රාජ්‍යය වීම හැරුනුකොට තවත් විවිධාකාරයේ සිහිනයන් විය ඒවායින් එකක් නම් මෝටර් රථ ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍යයක් බවට පත් කිරීමයි.එකල බ්‍රිතාන්‍යයේ Mini Cooper රථයටත් එවකට ලොව වැඩියෙන්ම අලෙවි වූ ඇමෙරිකාවේ Ford Model T රථයටත් අභියෝග කල හැකි රථයක් නිපදවීම ඔහුගේ අරමුණ විය.

තම රටෙහි අධිවේගී මාර්ග ආරම්භ කරමින් යටිතල පහසුකම් සපුරමින් ජර්මනිය ලොව බලවත්ම රාජ්‍යය කිරීමේ වියරු අරමුණ සාක්ෂාත් කරගැනීමට ඔහු බොහෝ උපායන් යොදා ගනු ලැබිය.පළමුව තම රටෙහි ජනතාවගේ විශ්වාසය දිනාගැනීමද ඔහුගේ මුලික සැලසුම්වල කොටසක් වූ අතර ජනතාව සදහාම අවම මිලට ගත හැකි රථයක් නිපදවීමටත් පහසු ගෙවීම් ක්‍රම සහිතව ජනතාවට මෙම රථය ලබා දීමටත් ඔහු සැලසුම් ඇද තිබිණ.

ඒ අනුව මෙම නවතම රථය සතු විය යුතු අනිවාර්ය අංග කිහිපයක් ඔහු විසින් ගෙන හැර දැක්වූ අතර ඒවා පිලිවෙලින් මෙසේය.පළමු කරුණ වුයේ ඔහු විසින් නිපදවන ලද නවතම අධිවේගී මාර්ගවල ගමනාගමනයේදී ඉතා පහසුවෙන් පැයට කිලෝමීටර් 100 සීමාව පසු කිරීමට හැකි වීමත්,ඉන්ධන ලීටර් 7කට අවමයෙන් කිලෝමීටර් 100ක් ගමන් කල හැකි වීමත්,ඕනෑම අවස්ථාවක පහසුවෙන් අලුත්වැඩියා කරගැනීමට හැකිවීමත්,රථය තුල පුද්ගලයන් 4ක් හෝ 5 දෙනෙකුට ගමන් කල හැකිවීමත් සහ අවසාන වශයෙන් ඕනෑම ශිත කාලයක වුවද අපහසුවකින් තොරව පණගැන්වීමට හැකිවීමත්(බොහෝ ජර්මානුවන්ට ගරාජ නොමැති හේතුවෙන් එළිමහනේ රථයන් ගාල් කිරීමට සිදුවන නිසා)යන කරුණුය.

මේ කාරනා සපුරන මෝටර් රථයක් නිපදවීමේ අභියෝගය බාර ගැනීමට ඉදිරිපත් වුයේ ජර්මානු ජාතික Ferdinand Porsche නම් ඉංජිනේරුවා වූ අතර ඔහු විසින් වර්ෂ 1932 දී Type 12 නම්වූ මෝටර් රථයක් මේ සදහා නිපදවා ඉදිරිපත් කෙරින.මෙම රථයේ හැඩය කුරුමිනියෙකුගේ ආකාරයෙන් (Beetle) නිමවා තිබුණු අතර වාතයෙන් ක්‍රියා කරනු ලබන (Air Cooled) Boxer වර්ගයේ එන්ජිමක් සහිතව (දහන සිලින්ඩර තිරස්ව පිහිටන) වෙනස් ආකාරයේ රථයක් නිමවා තිබිණ.

මේ කාරනා සපුරන මෝටර් රථයක් නිපදවීමේ අභියෝගය බාර ගැනීමට ඉදිරිපත් වුයේ ජර්මානු ජාතික Ferdinand Porsche නම් ඉංජිනේරුවා වූ අතර ඔහු විසින් Type 12 නම්වූ මෝටර් රථයක් මේ සදහා නිපදවා ඉදිරිපත් කෙරින.මෙම රථයේ හැඩය කුරුමිනියෙකුගේ ආකාරයෙන් (Beetle) නිමවා තිබුණු අතර වාතයෙන් ක්‍රියා කරනු ලබන (Air Cooled) Boxer වර්ගයේ එන්ජිමක් සහිතව (දහන සිලින්ඩර තිරස්ව පිහිටන) වෙනස් ආකාරයේ රථයක් නිමවා තිබිණ.

ඒ අතරම යුරෝපයේ බලවත්ම රාජ්‍යය තමා සතු කර ගැනීමේ වියරුවෙන් මත වී සිටි හිට්ලර් විසින් චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කොට Tatra සමාගමද බලෙන් අයිති කරගත් බැවින් නැවතත් මෙම රථයට එරෙහිව නඩු පැවරීමට කිසිවකුත් නොවිය.

ඉන් පසුව නවතම සංස්කරණය ලෙස Volkswagen Type 1 රථය හදුන්වා දෙනු ලැබුණු අතර එම රථය මුල් කාලයේදී නාසි හමුදාවේ ඉහල නිලතල දරන නිලදාරීන්ගේ ප්‍රයෝජනය සදහා යොදාගැනින.මේ අතරතුර ජර්මනිය බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශවයන් සමග ලෝක යුද්ධයකට පැටලෙමින් සිටි අතර හමුදාමය කටයුතු සදහා පමණක්ම එම වකවානුව තුල Beetle රථ යොදා ගැනින.

මේ අයුරින් වර්ෂ ගණනක් යුධමය කාල සීමාවේදී Beetle රථ ජනතාව සදහා නිෂ්පාදනය නොවූ අතර නැවත වර්ෂ 1944 හි අග භාගය පමණ වන විට ජර්මනිය මිත්‍ර හමුදා විසින් යටත් කරගනිමින් සිටි අතර තම සිහිනයන් බොද වූ හිට්ලර්ද තම පෙම්වතිය වූ Eva බ්‍රව්න් සමග භූගත නාසි කදවුරකදී සිය දිවි හානි කරගන්නා ලදී.Wolfsburg නගරයේ ආරම්භ වූ Volkswagen සමාගමද මිත්‍ර පාර්ශවයේ බෝම්බ ප්‍රහාරවලින් විශාල ලෙස හානි වී තිබිණ.

බ්‍රිතාන්‍යයන් විසින් ජර්මනිය යටත් කර ගැනීමෙන් පසුව මෙම සමාගම ඉතිරි වූ මෝටර් රථ සමග වෙන්දේසියේ දමනු ලබන අතර පසුව ඔවුන් විසින් මෙම සමාගම නැවත ප්‍රතිසංස්කරණය කොට නැවත Beetle රථ නිපදවීම ආරම්භ කරනු ලබන අතර සාර්ථකව රථයන් 10,000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඔවුනට හැකියාව ලැබෙනවා.

ඒ සමගම Volkswagen සමාගමට ඇමෙරිකානු වෙළදපොල විවුර්ත වන අතර බොහෝ විශාල ප්‍රමාණයෙන් යුතු ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් අවම රථ වෙනුවට මෙම කුඩා Beetle රථය ඇමෙරිකානු වෙළදපොල ආක්‍රමණය කරනු ලබන අතර වර්ෂ 1949 වන විට ඉතාමත් ඉහල සාර්ථකත්වයක් වෙතට මෙම රථය ගමන් කරනු ලබනවා

ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහල වීමත්,නඩත්තු වියදම් අවම වීමත්,සංකීර්ණ එන්ජින් කොටස් නොමැති වීමත් පහසුවෙන් කිහිප දෙනෙකුට ගමන් කිරීමට හැකිවීමත් බොහෝ දුරක් එක දිගට ධාවනය කිරීමේ හැකියාවත් නිසා එකල වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය ලෙස Beetle රථය ලොව පුරා අලෙවි වීම සිදුවනවා.

වර්ෂ 1952 පමණ වන විට Beetle රථය වටා උප සංස්කෘතීන්ද(හිපි සංස්කෘතිය) බිහි වීම සිදු වන අතර පොප් සංගීතය වටා රොක් බැදුණු තරුණ තරුණියන් අතර Beetle රථය බෙහෙවින් ජනප්‍රිය රථයක් බවට පත්වෙනවා.එත් සමගම Love Bug, Herbie වැනි සිනමා නිර්මාණවලටද Beetle රථය ඉවහල් වන අතර ලොව පුරා වැඩිම ජනප්‍රියත්වයක් සමගින් මිලියන 15කට අධික රථයන් ප්‍රමාණයක් අලෙවි වීම සිදු වනවා.

වර්ෂ 1952 සිට 1990 හි මුල් භාගය දක්වාම ජනප්‍රිය රථයක් ලෙස පැවති Beetle රථයේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් අඩු වී යන්නේ ජපාන මෝටර් රථ වෙලදපොලට පැමිණීමත් සමගයි.ආරක්ෂාව,නවතම උපාංග සහ වේගවත් නවීකරණයට අනුගත නොවී ආරම්භයේදීම තිබු ආකාරයෙන්ම Beetle රථය නිපදවීම හේතුවෙන් ජනතා ආකර්ශනය කෙමෙන් කෙමෙන් Beetle රථය වෙතින් පලා යමින් තිබුනා.

වසර ගණනක් තිස්සේ එකම (Platform)වේදිකාවක් මත නිපදවූ Beetle රථයට නවතම මුහුණුවරක් ලැබෙන්නේ වර්ෂ 1998 දී New Beetle රථය හදුන්වා දීමත් සමගයි.පෙර පරිදිම මිලෙන් අවම රථයක් නොවීම නිසාත් මෝටර් රථ වෙළදපොළ තරමක් විශාල ප්‍රමාණයේ රථවලට සංක්‍රමණය වීම නිසාත් Beetle රථයේ වෙළදපොල උතුරු ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවලින් අවම වෙමින් පැවතුනා.

එනමුත් දකුණු ඇමෙරිකාව,මෙක්සිකෝව,බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල පැරණි Beetle රථය සදහා ඉල්ලුම වර්ෂ 2000 න් පසුවද තිබුණු අතර එම නිසා Volkswagen සමාගම එම රටවල මෝටර් රථ එකලස් කරන කර්මාන්තශාලද ආරම්භ කරන ලදී.වර්ෂ 1998 දී පැමිණි රථයද එතරම්ම ලොව පුරා සාර්ථක නොවීම නිසා වෙළදපොල බොහෝ විට SUV රථ සදහා නිර්මානය වීම නිසාත් 2019 වර්ෂයේදී Beetle නාමය රැගත් සියලුම රථයන් නිෂ්පාදනය කිරීම නිල වශයෙන් නවතා දැමීමට සමාගම විසින් තීරණය කරන ලදී.

කෙසේ වෙතත් වසර 70කට පසුව ජනතාවගේ මෝටර් රථය මෙලෙස සදහටම විශ්‍රාම යන්නේ බොහෝ පුද්ගලයන් තුල විවිධාකාරයේ මතක සටහන් රාශියක් ඉතිරි කරමින් බව කිව යුතුමය.

අවසානයේදී ලොව මිලියන ගණනකගේ ජිවිත වලට වගකිවයුතු දරුණුම සමුල ඝාතකයා ලෙස හැදින්වූ ඇඩොල්ෆ් හිට්ලර් ගේ සැබෑවූ එකම සිහිනය වූ ජනතාවගේ මෝටර් රථය මෙලෙස නැවත නොපැමිණෙන ගමනක් අරබන්නේ ඔහුගෙන් සිදුවූ දහසක් වූ අයහපත් වැඩ අතර එකම එක යහපත් වැඩක් ලෙස ජනතාවගේ සිත් තුල රදවමිනි.

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...